උදේ ම ඇහැරෙනව කියන එක සමහරුන්ට මහ ම එපා කොරපු වැඩක්. නින්දෙ වටිනාකම හරියට ම දන්නෙ තමුං කියල යි ඒ ඇත්තො කියන්නෙ. නිදාගන්නව කියන එක ත් හරියට ම කරන එක ටිකක් ඉගෙනගන්ට ඕන සිල්පයක්. ඉලෙට්ට්රානික විප්ලවෙ ත් එක්ක ඒ සිල්ප ක්‍රම වැඩිදියුණු වෙලා තියෙනවය කියල ත් ආරංචි වුණා ඕං.
ඉස්සර වගෙ නෙවෙයි දැං. මරහඬ දෙන කුකුල්ලු, නැත්තං කං බීරි කොරන ටයිම්පීස් ඔරලෝසු වෙනුවට පාවිච්චි වෙන්නෙ හෑං පෝං නෙව. එව්වගෙ තියෙන හොඳ මෙව්ව එකක් තමයි එලාං එකකට වඩා තියන්ට පුලුවංකොම. අනිත් එක උදේ පාන්දර උගුර බැරෑඬි වෙච්චි නාකි කුකුල් නාම්බෙකුගෙ ඈඬියාවට වඩා දාහෙං සම්පතයි ඔය පෝං කටු වල එලාං එක වෙනුවට සින්දු දාන්ට පුලුවංකොම. හැබැයි තමුංගෙ පේවරිට් සෝන් එක නං දාන්ට එපා. දවස් දෙකයි තුංකාලෙං ඒක එපාවෙනව නැට්ටට ම.
දැං ඔය ප්රුතක්ජන මිනිස්සු නිදාගන්නව කියල කොරන්නෙ ඇඳට වැටිල උදේ වෙනකං කොටයක් පෙරලිච්චැහෙ ගොරොද්දෙ අදින එක නෙව. නින්දෙදි ඇඟේ කෑල්ලක් ඇරං ගියත් දන්නෙ නෑ. කොයිතරං නිදාගත්ත ත් වෙනසකුත් නෑ. ඒත් සිල්පෙ දන්න ඇත්තො එහෙම නෑ. එවුං කොරන්නෙ මෙහෙම යි, ඇහැරෙන්ට ඕනැ උදේ හයට කියමුකො. උන්දැල එලාං දෙකක් තියනව. පාන්දර දෙකට එක යි, පහයි හතළිස්පහට එක යි. ඊට පස්සෙ සාමාන්‍ය මනුස්සයෙක් වගේ ම නිදාගන්නව.
ඕන්න පාන්දර දෙකට එලාං එක වදිනව. මූ නිදිමරගාතෙ ඇහැරෙනව. සහතික කොරල කියන්නෙ, එලාං දෙකක් තිබ්බ කියල මතක් වෙන්නෙ නෑ ටික වෙලාවක් යනකං. ඉතිං වෙලාව බැලුව ම තව පැය හතරක් නිදාගන්ට ඉතුරු යි එහෙම්පිටිම්ම!! මේකා හරි සතුටිං ඔලුවෙ ඉඳල පොරෝගෙන අල්ප දයන්න වගෙ වක්ක ගැහිල නිදාගන්නව ආපහු මුලක ඉඳල.
ආන්න ඊළඟට පහයි හතළිස්පහේ එක වදිනව. ඒ වෙලාවට නං වැඩිපුර කම්මැලිකමක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් නිදාගන්ට තවත් විනාඩි පාළොහක් ම ඉතුරු යි තව!! ඒ වෙලාවට තමයි ස්නූස් ඔප්සන් එක වටින්නෙ. දෙපාරක් ස්නූස් කළා, හයට නැගිට්ට. ලැම්බ නං ඔය එලාං දෙක දෙක තියල විකාර නටන්නෑ.. තුනක් ම තියනව මිසක.
නින්ද කියන්නෙ දවස තිස්සෙ තැලිල පොඩිවුණ මනුස්ස සන්තානෙට ලැබෙන.....හපොයි! මදෑ පඳුර වටේ තැලුව. හාවට විදිමුකො දැං එක ගලෙං පණුවො දෙන්නෙක් ම වැටෙන්ට. මේ නිදි කතන්දර කියන්ට තුංහිතක වත් තිබුණෙ නැතුවා. සමාව බාජන කරනව ඕං...
අනුග්‍රාහක භවතුන් ගේ පණිවුඩයකින් පසු ව ගීතමය විරාමයකට ගිහින් නැවත වැඩ(නැති)සටහන සමග එකතු වෙමු...
.........................................................................
“ඇලි මැලි කම් දුරුකරවන
වැහැරෙන සිරුරට සුව දෙන
ළඳුනගෙ ඇති රුව රැක දෙන
හෙළ ඔසුවකි සුඑන්සූ...
වැය වන ලේ නැවත වඩන
කඩිසර දිවියට පණ දෙන
බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා
හෙළ ඔසුවකි සුඑන්සූ...
සුවෙන් සිටීමට... සුඑන්සූ...
හොරණ සුගත රසායනාගාරයේ තවත් අනගි නිපැයුමක්...“
.........................................................................
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයි ද? ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ...
කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුලු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේ ම අවදි වී යා යුතු ව තිබේ...
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එක ම හාදුවයි සොඳුර, ඒ මගේ...
ගායනය/ සංගීතය: ගුණදාස කපුගේ
පද: රත්න ශ්‍රී විජේසිංහ
.........................................................................
මේ කතාවෙ, ඔහු කියන්නෙ කවුද කියා අසන්ට එපා.. ‘ඔහු‘ කියන්නෙ පුරුෂ ලිංගික සර්ව නාමයක්.. ඔහු ඕනෑම කෙනෙක් වෙන්නට පුළුවන්.. ඉතින් අද.. ඔහු..
ඔහු තනියෙන්.. නින්ද අහලක වත් නෑ.. කොහොමත් ඈ හමු වුණු දා පටන් ම ඔහු ගෙ හදවත අවදියෙනුයි තිබුණෙ.. නමුත් අද, ඊට වඩා වෙනස්... අද ඔහු ගෙ දෑස් පියන්පත් පළාගෙන කඳුළු කැට වෑහෙනව.. කාත් කවුරුවත් නො පෙනෙන අඳුර මැද්දෙන් ඔහු ට පේන්නෙ ඇගෙ මුහුණ.. එය, තනි සිතෙක නො මැකෙන පිය දසුනක්.. ඒත්, මීදුමෙන් වැසුණු සඳක් වගේ, ඔහුගෙ කඳුළු වලින් ඒ දසුන බොඳ වෙලා.. “ ඔහු ගෙ
හිත ළඟ නිදිවරාපු ඈ අද කොහෙද...?
ඒ කඳුළු ගලා සැදුණු ගඟුල විරහව යි.. ඔහු ඒ ගඟෙ හි තනිකම නමැ‘ති පාරුව පැද යන තොටියෙක්.. ඔහුට සීතල යි.. ඒ, විරහ ගඟ මතින් හමන දුක් බර සීත සුළං රැළි නිසා ඔහු ගෙ හිත කිළිපොලා යනව.. ඔහු උණුසුම පතා ගෙන දෙ නෙත් පියා ගෙන තුරුලු වෙන්නෙ ඇගේ මතකයන්ට යි.. තනිකම ට බය ඔහු, ඒ මියගිය මතකයන් තුළ ජීවත් වෙන්නට හදනව.. ඒත්, ‘මියගිය‘ මතක තුළ කෙනෙකු කොහොම ‘ජීවත් වෙන්න ද...?‘ ඔහු ට එය නො වැටහෙනව නො වෙයි.. ඒත් ලේ මස් වලින් හැදුණු හැම පෘථග්ජන මනුස්සයෙකු වගේ ම, ඔහු ත් යථාර්ථයට බය යි..
ඔහුට ඇය හිමි නෑ.. ඇයට ත් ඔහු සිය ‘හිමි‘ කරගන්නට ඕනෑ වුණේ නෑ.. ඒත්, ඈ සුපෙම් හැඟුම් වෙනුවට ඉල්ලන මිතුරු දම් ඔහු ඇයට කොහොම ගෙන දෙන්නට ද...? ඈ කියන අයුරින් ඔහු කොහොම ඈ දෙස බලන්න ද...? ඇය යන්න ම, යන්න ම, යනවා නම්, ඉතින් ඔහු කොහොම ඉන්නට යැයි කියන්න ද...? කිසි දින ඔවුන් හමු නො වන බව ඔහු දන්නව.. ඉතින්, සිහිනය මිය යා යුතු යි.. ඔහු මේ මායා සිහිනයෙන් අවදි වී යථාර්ථයෙන් පිරුණු ලෝකය ට යා යුතු යි...
සැරයටියෙන් යනෙ‘න තුරා ම ඇය ත් සමග යන්නට සිටි ගමන, ඔහුට දැන් ඇය නැති ව යන්න ට වෙලා.. ඔහු ගෙ සඳ නීවී ගිහින්.. තරු එළියෙන් ඒ දුරු ගමන යන්නට ඔහු ට සිය සිත දැඩි කරගන්නට වෙලා.. රුදුරු තුරු වදුලක, දලු ලා වැඩුණු ඔවුන් ගේ ආදරයෙ හි අග, පිපුණු මලක් නම් නෑ.. ආදරයෙන් සිඹින්නට වුව එහි ඇත්තේ රිදුම් දෙන මතකයන් නමැ‘ති කටු පමණ යි.. ඇගෙන් ලත් නිසා ම, ඒ රිදුම් ද ඔහුට සුවදායක යි.. ඒ රිදුම් දෙන මතකයන් බදා වැළඳගන්නා ඔහු.. ගෙවී ගිය අපමණ සැඳෑ කාලයන් වල ඈ එන තුරු බලා සිටි ඔහු.. ඔහු ගෙ පුංචි කුමාරියගෙන් වෙන් වන්නට සමු ඉල්ලනව.........
“ඉතින් අවසර යි මගේ පුංචි කුමරියේ..............“
“ඉතින් අවසර යි මගේ පුංචි කුමරියේ..............“
මං හිතනව යටින් කියපු දේ මට තේරුණා කියල.......................... ලස්සනට ඒක ලියල තියෙනව අයියා. මං කිව්වෙ “නොකියා කියල තියෙනවා“ කියන එක. ගණන් ගන්න එපා. මේ පුරුතක්ජන ලෝකෙ බැදීම් වෙන්වීම් දෙකම තියෙනව. හිත හදාගත්තානම් ඒ ඇති. ආපහු කියනන්නෙ................ලස්සනයි.
ReplyDeleteසහතික ඇත්ත...හමුවීම සහ වෙන්වීම තමයි ආදරේ කියන්නෙ...(?)
Deleteඅනේ මන්දා මලේ...හිත හදල තියෙන්නෙ වීදුරු වලට ත් වඩා අන්ත ජාතියකිං..කැඩුණම කෝවෙ දාල මැකුවත් පලුද්ද එහෙම්මයි.............
ස්තුතියි මචං මේ පැත්තෙ ආවට... :)