කාරණාවට බහින්ට කළිං පොඩි කතන්දරයක් කියල දෙන්ට යි ලෑස්තිය...
ඕන්න ළමයිනේ ඉස්සර කාලෙ දඹදිව හිමාල වනයට ළඟින් තිබුණ නිෂධ නමින් හැමෝම දන්න ආශ්චර්යමත් රාජ්‍යයක්. මේ රාජධානියෙ රජතුමා වුණේ පොඩි, එත් හොඳ බුද්ධිමත් ඇමැති මණ්ඩලයක් එක්ක දැහැමින් සෙමෙන් රාජ්‍ය පාලනය කරපු නල රජතුමා.
(සෙමෙන්
කිව්වෙ සාමයෙන් කියන එක. එහෙම නැතුව එතුමට ඉහෙන් බහින ලෙඩක් තිබුණෙ නෑ ඕං). මේ
රජතුමා එසේ මෙසේ පොරක් නෙවෙයි. අස්සයො පිටේ යන්ට රජ බඩුවක්. ඒ වගේ ම තමයි ඕං කාය
සත්තිය. දෙතුන් දෙනෙක් එක්ක වුණ ත් පොරබදල උන්ව මෙල්ල කොරගනීවි කිසි ම මහන්සියක්
නැතුව.
ඒත් ඉතිං අපරාදෙ කියන්ට මේ නල රජතුමා කෙහොම හයි හත්තිය තිබුණ වුණත් නිරපරාදෙ කාටවත් දුකක් කරදරයක් වෙන්ට ඉඩ තිබ්බෙ නැති උත්තමයෙක්. උන්නාන්සෙගෙ කරුණාවත් බව මුළු රාජ්‍ය විතරක් නෙවෙයි අසල්වැසි රාජ්‍ය වල මිනිස්සු ත් දැන හිටිය. මේ කරුණාවන්ත බව නල රජතුමාගෙ මූණෙනුත් පෙනුණ. ඒ පින්පාට ඔහු ගෙ සිරුරෙ කඩවසම් බවට එකතු වෙලා ඔහු ව මිහිපිට ඉන්න දෙවි කෙනෙකු ගෙ රුවට සම කරල පෙන්නුව.
මුළු රාජ්යයෙම මිනිසුන් ගෙ ආදරයට පාත්‍රවෙලා හිටපු මේ නල රජතුමා ට අඩුවකට කියල තිබුණෙ එක දෙය යි. ඒ තමයි තමන් ගෙ පාදපරිචාරිකාව කොරගන්ට සුදුසු කුමාරිකාවක් මේ වෙනතුරු ත් හොයාගන්ට බැරි වුණ එක. එහෙම ගැලපෙන කුමාරිකාවක් කොහේ හරි ඉන්නව ද කියල හොයල බලන්ට නල රජතුමා මුළු දඹදිව පුරාවට ම චරපුරුෂයො පිටත්කර හැරල තිබුණෙ ඒ නිසා.
ඔහොම යවාපු චරපුරුෂයෙක් රජතුමා මුණගැහෙන්ට ආවෙ ඔය අතරෙ.
“අවසර රජතුමනි. මම තකහනියක් මේ එන්නෙ විදර්භ දේසෙ ඉඳල. දැං විදර්භ දේසෙ පාලනය කරන්නෙ භීම කියල රජ කෙනෙක්. එතුම ට දරුවන් තුන් දෙනෙක් ඉන්නව. ඉන් වැඩිමහල් වන දූ කුමාරිකාව, දමයන්තිය, නම් ඔබ වහන්සේට ම ගැලැ පෙන බව යි මට හිතෙන්නෙ. ඇයට වයස දාසය සම්පූර්ණ වී මාසයක් පමණ ඇති. අහෝ! එ වැනි රූසිරියක්. වරක් ඈ දුටු කෙනෙක් වෙනත් කතක් දෙස නැවත නො බලන තරම්. එ වැනි කුමාරියක් හිමි කරගන්නට සුදුසු අන් කවරෙකු ද? ඔබ ම මිස...“
චරපුරුෂය ගෙ වර්ණනාව අහපු වෙලාවෙ ඉඳන් නල රජතුමා ගෙ හිතේ දැං දුව පනින්නෙ දමයන්තියම යි. නො දැකපු ඈ කෙරෙහි ඔහු ගෙ හිත තදින් ම බැඳී ගිහින්. ඇයට තමන් ගෙ කැමැත්ත දන්වන්නෙ කොහොම ද? කියන ප්‍රශ්නෙ ඔහු ගෙ හිත තුළ බෙරිහන් දෙනව. හිත ටිකක් නිදහස් කරගන්ට පහුවදා උදේ නල රජතුමා තනියෙන් ම දඩයම් පිණිස කැලයට ගියේ ඒ නිසා.
කැලේ ඇතුළෙ සෑහෙන දුරක් ගියත් දඩයම් කරන්ට හිතක් නල රජු ගෙ හිතේ ඇති වුණේ නෑ, දමයන්තිය ගැන මනෝ මාලිගා හද හද ඇවිද්ද මිසක්. ඒත් ගස් අතරින් පෙනුණ ලස්සන පොකුණක දිය කෙළින සුදු පාට හංස රාජයෙක් දුටුව නල රජතුමාට උන් හිටි තැන් අමතක වුණා. ඒ වගෙ ලස්සන හංස රාජයෙකුගෙන් රාජකීය පොකුණ අලංකාර කරගන්ට ඔහු ගෙ හිතේ ඇති වුණේ නො තිත් ආසාවක්.
පළපුරුදු දඩයක්කරුවකු ගෙ පියවරින් පොකුණු තෙරට ළං වුණු නල රජතුමා දුන්නක් වගේ ඉදිරියට පැනල හංස රාජය ගෙ ගෙල තදින් අල්ලගත්ත. මරණ බයින් තැති ගත් හංසය බේරී යන්ට දැඟලුව ත් ටික වෙලාවකින් ඒක නිරර්ථක බව දැනිල දෝ නිසල වුණා. හංසය ගෙ ජීවිතේ ට අනතුරක් වෙයි කියල හිතුව නල රජතුමා ත් ග්‍රහණය මඳක් බුරුල් කළා. අනපේක්ෂිත ලෙසින් හංසය ව මරණ බයෙන් තැතිගන්වපු නල රජු ව ඊට ත් වඩා තැති ගන්වන්නට හංසය ඊළඟ මොහොතෙ සමත් වුණා. ඒ මිනිස් කටහඬින් නල රජු ඇමැතීමෙන්.
“කරුණාවන්ත බවට මූර්තියක් බඳු වූ නල රාජෝත්තමයාණෙනි, මම එසේ මෙසේ වූ හංස රාජයෙකු නො වෙමි. මාගේ ජීවිතය අද මුදා හළ හොත් ඔබට මහත් වූ ලාභයක් වනු ඇති.“
පුදුමයෙන් මුසපත් වූ රජු ට කිව යුත්තක් සිතාගන්නට හැකි වුණේ නෑ. හංසයා දිගට ම කතා කරන්නට වුණා.
“ඔබතුමා ගේ සිතේ අභිප්රායය මට රහසක් නො වෙයි. සුරූපිනියන් අතර අගතැන්පත් වූ විදර්භ දේශයේ කුමාරිකාව වන දමයන්තිය පිළිබඳ ඔබ සිත තුළ වූ ආලය ද මට රහසක් නො වෙයි. එසේ නම් ඒ ආලය මුදුන් පත් කළ හැකි යමෙක් වේ ද, ඒ මම බැව් ද දත මැනව. මාගේ ජීවිතය දුනහොත් මම ඔබට පිහිට වන්නෙමි.“
පුදුමය යටපත් වෙලා මතු වුණු කුතුහලයෙන් නල රජු හංසය ඇමැතුව.
“ලස්සන හංසයාණෙනි, නුඹ කොහොමද මට පිහිට වෙන්නෙ? කොහොම වුණත් නුඹ හංසයෙක් පමණයි.“
“ඇසුව මැනැවි රජතුමනි. ඔබ දැන් මා නිදහස් කළ හොත් මම මේ මොහොතේ ම විදර්භ දේශයට පියාඹා ගොස් සුරූපී දමයන්තියට ඔබේ සිත ඇති අදහස් දන්වන්නෙමි. ඔබේ බල පරාක්‍රමය සහ රූපශ්රීයය ගැන මා කරන වර්ණනාවෙන් ඇය ඔබ කෙරේ බැඳී යනවා නො අනුමාන යි. ඉන් පසු මම නැවැත පැමිණ ඔබට ඒ බව දන්වා සිටින දූතයා ද මම ම වන්නෙමි.“
හංසයගෙ වචන වලින් ඉතා ම සතුටට පත් වුණු නල රජතුමා හංසය ගෙ පියාපත් ආදරයෙන් පිරිමැදල ඌට යන්ට ඉඩහැරිය. පොරොන්දු වුණු විදිහට ම හංසය දුන්නෙන් විදපු හීයක් වගෙ පියාඹල ගිහින් නැවතුණෙ දමයන්තිය සැඳෑ සිරි විඳින රාජකීය උද්‍යානයෙ පොකුණ ළඟ.
පොකුණ අසල ඉන්න ලස්සන හංසය දුටු දමයන්තිය ටිකෙන් ටික හංසයට ළං වුණා. ඒ බව දැක දැක ත් හංසය පියාඹා නො යන බව දුටුව දමයන්තියට පුදුම හිතුණ ත්, ඊට මොහොතකට පස්සෙ හංසය තමන් එක්ක කතා කරන්ට ගත්ත ම ඇති වුණු පුදුමය ඊට වඩා විශාල එකක් වුණා.
“සුරූපී වූ දමයන්ති කුමාරිකාවෙනි, මා පැමිණයේ නිෂධාධීශ්වර වූ නල රජු වෙතින් ඔබ වෙත එන මංගල දූතයෙකු ලෙස යි. අසනු මැනවි කුමාරිකාවෙනි, ඒ ධීර වූත්, වීර වූත්, කරුණා මූර්ති වූත්, උතුම් වූ නල රජු කෙසේ වූ කෙනෙකු ද යත්....“
කියූ හංස රාජයා නල රජු ගේ කීර්තිය ගීයකින් වර්ණනා කරනව...
ගීතය මෙ තැනින් අහල ඉන්ට.
“ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ළපලු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහු ගෙ නාමය වේ...“
“සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලද ලියන්නේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ...“
“රනින් කළ වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරාගී නිල් නුවන් බඳුනෙන්
නුරා ඉතිරෙන්නේ...“
ඔව්, අද කතාකරන්ට යන්නෙ මේ ගීතය ගැන යි. රචනය මහගම සේකරයන් විසින්. ගායනය පණ්ඩිත් අමරදේවයන්ගෙන්. පුරුෂයකු විසින් පුරුෂයකු වර්ණනා කෙරෙන ගීත, සාහිත්‍යයේ දකින්නට ලැබෙන්නේ ඉතා ම අඩුවෙන්. මේ එ වන් ගීයක්. අපි එහි අරුත වෙත යොමු වෙමු.
“ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ළපලු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහු ගෙ නාමය වේ...“
නල රජු ගේ කීර්ති නාමය දක්වමින් හංසයා
වර්ණනය අරඹයි. ඈත කඳුකරයේ ඇති හිමව් අරණ සිහිපත් කිරීම මගින් රජු ගේ කිත් ගොස ඉතා
දුර බැහැර දක්වා පැතිර ඇති බව හැඟවෙයි. සීත චන්දන ළපලු හෙවණ යන්න සිත තුළ සෞම්‍ය
හැඟුමක් ජනිත කරයි. නාමය සුළං රැල්ලේ පාව එනවා යනු දනන් තුඩ තුඩ ඔහු ගේ නාමය රැඳී
ඇත යන්න යි. දෙ වැනි සහ තෙ වැනි පද එක් ව, දනන් තුඩ තුඩ නල රජු පිළිබඳ ව යහපත්
ආකල්පයක් රැඳී ඇති බව හැඟවෙයි.
“සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලද ලියන්නේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ...“
සඳැල්ලේ මිණි
තලාවේ
තාරකා පායන්නේ රාත්‍රි කාලයේ යි. ලද ලියන් යනු නව යොවුනට පත් ළඳුන් ය.
නව යොවුනියන් ද රෑ සිහිනයන් හි දකින්නේ නල රජු ගේ රුව බැව් පැවැසීමෙන් ඔහු ගේ
කඩවසම් බව දක්වන අතර ම, දමයන්තිය තුළ නල රජු හිමි කර ගැනීම සඳහා උත්සුක භාවයක් ඇති
කිරීමට ද හංසයා සමත් වෙයි. උක්ත නව යොවුනියන් ට එරෙහි ව දමයන්තිය තුළ චිත්ත සංග්‍රාමයක්
ඇරැඹෙයි.
රනින් කළ වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ...“
හංසයා නල
රජු ගේ භෞතික ලක්ෂණ වර්ණනා කරයි. ළැම හසුන් හෙවත් මනා ව පිහිටි පුන් පියොවුරු යනු අත්‍යන්තයෙන්
ම සිත් අදනා දසුනකි. ඔහු ගේ රන්වන් පුළුල් උරහිස් ළැම හසුන් පවා මුස කරනා හෙවත් ලැජ්ජාවට
පත් කරනා තරම් සිත් ඇදගන්නාසුලු බව හංසයා පවසයි. ස්ත්‍රී සිරුර සමග සසඳා කෙරෙන
වර්ණනාවෙන් සහ, නල රජු ගේ රූප ලක්ෂණ ඊට ද වඩා උසස් බව දැක්වීමේ දී දමයන්තිය ගෙ සිත
තුළ නල සහ තමා අතර සැසැඳීමක් ඇති වෙයි. තමා පිළිබඳ දමයන්තිය තුළ වූ රූප මානය නල
රජු ඉදිරියෙ හි තුනී වී යයි.
“හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරාගී නිල් නුවන් බඳුනෙන්
නුරා ඉතිරෙන්නේ...“
ඔහු තුළ
දමයන්තිය කෙරෙහි දලු ලා වැඩෙන ආලය සඳ වන් සෞම්‍ය ගුණය ට සැසැඳේ. හංසයා මෙයින් නල
රජු දමයන්තිය කෙරෙහි ආලයෙන් පසු වන බව මෙන් ම, ඔහු ගේ සිතිවිලි හා ගතිගුණයන් හි
ඇති මෘදු බව ද විදහා පායි. අවසන් දෙ පදය ද භෞතිකමය වර්ණනාවක් සහ රජු ගේ සිතිවිලි
පිළිබඳ වර්ණනාවක සංකලනයකි. රාගය කළඹාලනසුලු වූ ඔහුගේ නිල් නෙතු තුළින් දමයන්තිය
කෙරෙහි ඇති අනුරාගය පැවැසෙන බැව් හැඟවෙයි. නල හිමි කර ගැනීමට දමයන්තිය තුළ ඇති කළ
උත්සුක භාවය රාගි හැඟීම් නිසා තව තවත් ප්‍රබල වෙයි.
සරල ලෙස
පෙනෙන්නා වූ පද මාලාවකින් දමයන්තිය ගේ චිත්තාභ්‍යන්තරයෙ හි පූර්ණ විපර්යාසයක් ඇති
කිරීම ට හංසයා සමත් වෙයි. එය අවසන් වන්නේ දමයන්තිය සිය ආලය නල රජු ලෙස
පුදකිරීමෙනි.
තවත්
ගීයකින් හමුවෙමු. ඔබේ අදහස් උදහස් මට ඉතා අගනේ යි.
සුපිරි කියන වචනේ වැඩියෙන්ම කියන්නේ මේ බ්ලොග් එකටද කොහෙද බන් ! :D මේ සින්දුව ගැන අමරදේව විස්තර කරන වීඩියෝ එකකුත් තිබුනා...ගෙදර ගියාම හොයලා මෙතනට දාන්නම්....
ReplyDeleteවයලා ආවම මේකේ වයලින් සෝලෝ එකක් තිබුනා ඕක දාවී :D
හැමදාම වගේ පස්ටයි. කතාවත් රහයි තේරුමත් රහයි ආ !
මීට පස්සේ සපෝටර්ලට කෙල්ලට දෙන්න කියලා මේ සිංදුව ලියලා තේරුම බලාගන්න ලින්ක් එකත් දාන්න ඕනි පහලින් :D හඃ හඃ හඃ හඃ
:D :D තැන්ක්යු සිංදුවෝ!!!
Deleteවීඩියෝ දෙක ඉක්මනට දාන්ට ඕං :)
wachna ne yaluwe.... athi wishishtai.... wedika natya nerabuwa ha samanai..
ReplyDeleteස්තුතියි ප්‍රාර්ථනා :)
Deleteමෙන්න තවත් ගීතවිචාරකයෙක්. මං මේ උඹේ විචාරයක් කියෙව්වමයි. ඇත්තෙන්ම අතිසාර්ථකයි. මේ මාවතෙන් දිගු ගමනක් යන්න ආරාධනා කරනව මචෝ.
ReplyDeleteජයෙන් ජයම වේවා!
ආ.. ඉතින් කුමරිය රජතුමාට කැමති උනාද?
බොහොම ස්තුතියි මචං :)
Deleteඔව් ඔව්, මම කිව්වෙ, කැමති වුණා..ඒත් කතාව පටන් ගන්නෙ එතැනින්...සිදුවට අදාල නැති නිසා මම මෙතැන දැම්මෙ නෑ...ලොකු අවුල් ටිකක් යනව ඊට පස්සෙ...
ජයවේවා!!!
නියම ගී විචාරයක්. අද තමයි මෙහෙ ගොඩ වැදුනේ. නියමෙට වැඩේ කරලා තියෙනවා.
ReplyDeleteමෙන්න මගේ සුබ පැතුම්.
ඉස්සරහටම යන්.
මඳෙව් විලට සාදරෙයන් පිළිගන්නවා දෙ වැනි විභීෂණ.. ඇගැයුමට බොහොම ස්තුතියි...
Deleteආපහු මේ පැත්තෙ ගොඩවෙලා යන්ට...
supiriiiiiiiiiiiii Jaya!
ReplyDeleteස්තුතියි ඔබට :)
Deleteජය!!
This comment has been removed by the author.
ReplyDeleteReal good Blog-post. Excellent Writing and Illustration. Having read your story I saw the meaning of සුළං රැල්ලේ (නල රැල්ලේ) පාව එන්නේ
ReplyDeleteඔහු ගෙ නාමය වේ.
Thanks a lot for your appreciation Mr. Induka :) Glad I could show you something new..
Deleteඔබ නළ-ධමයන්ති කතාව මනාව විතර කරයි ,ඉතාම අගය කරමි .නැවත නැවත මෙවැන්නකින් හ්මුව්මු'
ReplyDeleteඔබේ අැගැයුමට ෙනා මඳ තුති!! නැවැත විල්තෙරට පැමිණෙන්න...
Deleteපොඩි අඩුවක් තියෙනවා මිත්‍රයා සුදු හංසයෙක් නොවෙයි රන් හංසයෙක් තව අඩුපාඩු තියෙනවා ඉතිං මිත්‍රයා නල දමයන්ති කැලේ අතරමන් වෙලා අසපුවකට යනවානේ එතැනින් එහාට කතාව නැද්ද තියෙනවානම් pdf එකක් එවන්න පුලුවන් ද? තෙරුවන් සරණයි මිත්‍රයා ඔබගේ උත්සාහයට ජය.෴
ReplyDelete