2014-04-03

පිය සෙනෙහසට



ලිපියෙ තේමාව දකින කොට ම හැම දෙනාට ම මතක් වෙන්නෙ එක ම ගීතයක්. ඔව්, පිය සෙනෙහස ගැන කවුරුත් සංවේදී කරවන, පිය සෙනෙහසෙ හි ප්‍රතිමූර්තියක් විදියට බොහොම දෙනෙක් සලකන ලස්සන ගීතයක්. නමුත්, පෝය දවසට වෙන දා වාදනය වන ටකරන් සිංදු වෙනුවට ප්‍රබුද්ධ යැයි සැලැකෙන ගායක ගායිකාවන් ගේ ආදර ගීත වාදනය කරන අවිචාරවත් ගුවන්විදුලි නාලිකා ඇති රටක වෙසෙන ඔබ ත් මේ ගීතය තත්වාකාරයෙන්, විචාරශීලී ව අසා තිබෙනවා ද?


ගීතයට සවන් දෙන ගමන් ම පද වැල සහ එහි නිමිත්ත පිළිබඳ ව ඔබේ සිත යොමු කරන්න. වෙන දා මෙන් ගීතයේ තේමාවෙන් සංවේදී නොවී, ඒ පිළිබඳ ව මනැසින් විදග්ධ විචාරයක් කරන්න..




අම්මා සඳකි මම ඒ ලොව හිරු ය රිදී
ඒ ඉර හඳින් නුඹෙ ලෝකය එළිය වුණි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
පිය සෙනෙහස ට කව් ගී ලියැවුණා මදි
සිරුරේ දුවන්නේ මගෙ ලේ නො වැ පුතුනේ
කුසයේ නො දැරුව ත් දිවි බර මට දැනුණේ
මහමෙරක ට උස යි දරු පෙම හද පතුළේ
පුදුම යි! පුතුනි, කිම? මගෙ ලේ කිරි නො වුණේ
මවකට මුවා වී නුඹ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණ යි දන්නේ
පිය සෙනෙහස නැති ද? දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණ ද? මතු බුදු වන්නේ...
පද : මාලිනී ජයරත්න තනු: රෝහණ වීරසිංහ
හඬ: ටී. එම්. ජයරත්න
ඉතා ම සංවේදී පද වැලක්. සංගීතය එහි සංවේදී බව තීව්‍ර කරනව. ජයරත්නයන් ගේ ළයාන්විත ස්වරය ගීතය සම්පූර්ණ කරනව..
නෑ, මම හිතන්නෙ බොහෝ දුරට සම්පූර්ණ කරනව කිව්වොත් වඩා ත් නිවැරැදි යි.
එය ඇහුණ ම ලැම්බ ට පිස්සු කියල සමහරු කියාවි. “පද වැල, සංගීතය, ගායනය යන සියල්ල ම හොඳින් ම සැපිරූ පසු ත් ගීතයක් අසම්පූර්ණ වෙන්නෙ කොහොම ද?!“ ඔබ අහවි.
මම දැන ට ඒ ප්‍රශ්නය මග ඇරල වෙන ත් ගීතයකට පනිනව. පීලි මාරු කිරීමක් නො වෙයි. පළමු ගීතය හා සබැඳෙන තව ත් ගීතයකට යි මම යන්නෙ.
කළින් ගීතයෙ දි වගේ ම පද වැල සහ එහි නිමිත්ත වෙත ඔබේ සිත යොමු කරමින්, ඒ පිළිබඳ ව මනැසින් විචාරයක් කරන්න..
පවනට සැලෙනා - දොඹ මල් සුවඳින්
ආදර හසරැල් මුව ට නැගෙයි දෝ?
සවන ට කොඳුරා - පවසන වදනින්
ආදර හැඟුමන් සිත ට දැනෙයි දෝ?
මල් ඇතුරුණු ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙ නෙතින් ආල වඩයි දෝ?
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
ඒ දුක්බර හඬ ඔබ ට ඇසෙයි දෝ?
ඇකයේ සිට මා, පුතු හඬනා සඳ
ලේ කිරි වී දැයි නො දනිමි මා ළඟ
අසරණ දෙ නෙතින් පුතු දෙස බැලු සඳ
දුටුවේ වැගිරුණු කඳුළු පමණි ළඳ
පද: ධර්මසිරි බණ්ඩාරනායක තනු: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස හඬ: ටී. එම්. ජයරත්න
ඉතා ම සංවේදී අවස්ථාවක්. එහෙම නේද? සිය අදරැ‘ති බිරිඳ වෙනත් පෙම්වතෙකු වෙත ගිය නිසාවෙන් කුඩා දරුවා ත් සමග තනි ව, අසරණ වූ පියෙකු ගේ ශෝකාලාපයක්. සරල, එ නමුත් මනා සංගීත සංයෝජනයක්. එය අපේ සිතෙ හි චිත්ත රූප මැවීමට සමත් ගීතයක්.
අපි මේ ගීත දෙක සසඳා බලමු. වෙනස් අවස්ථා දෙකක් වුව ත්, ඉන් කියැවෙන පියෙකු ගේ හැඟීම් සමුදාය ගැන සලකා බලමු.
පළමු ගීතයේ,
“රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
පිය සෙනෙහස ට කව් ගී ලියැවුණා මදි...“
යන දෙ පදය සලකන්න. මේ ගීය ගයන්නේ කවුද? කාගේ සිතක පහල වන්නා වූ සිතිවිලි ද මේ?
ඔබ කියාවි පියෙකු ගේ කියා. නමුත් සිතන්න යථාර්ථය. පියෙකු සැබැවින් ම මෙසේ කියාවි ද? එය පියෙකු ගේ සැබෑ ස්වරූපය ද? මම එහෙම හිතන්නෙ නැහැ. පියා යනු සියලු ම දුක් ගැහැට නිහඬ ව විඳිමින්, සිය දරුවන් ගේ සැප ම පමණක් පතමින්, තමා වෙනුවෙන් අබැ‘ටක් තරමේ දෙයක් නො පතන, උපේක්ෂාවේ ප්‍රතිමූර්තිය යි. එසේ වූ පියා සිය සෙනෙහස “ප්‍රොමෝට්“ කරන්නට කව් ගී බලාපොරොත්තු වේවි ද?
එසේ ම,
“සිරුරේ දුවන්නේ මගෙ ලේ නො වැ පුතුනේ
කුසයේ නො දැරුව ත් දිවි බර මට දැනුණේ
මහමෙරක ට උස යි දරු පෙම හද පතුළේ
පුදුම යි! පුතුනි, කිම? මගෙ ලේ කිරි නො වුණේ...“
යන්නෙනු ත් ඔහු සිය සෙනෙහස ට ප්‍රචාරයක් ලබා දෙනවා නොවේ ද? ස්වාර්ථය නො පතන පියෙකු එ වන් ප්‍රකාශයකින් බලාපොරොත්තු වන්නේ කුමක් විය හැකි ද? එය හරියට රක්ෂණ සමාගමක වෙළඳ දැන්වීමක් වගේ මිස දරු පෙමින් පිරි පියෙකු ගේ මුවින් පිට වන වදන් පෙළක් යැයි සිතන්නට බැහැ.
නමුත්,
“ඇකයේ සිට මා, පුතු හඬනා සඳ
ලේ කිරි වී දැයි නො දනිමි මා ළඟ...“
යන්න ඊට වඩා කෙ තරම් සංවේදී ද? දරුවා පත් දුක්ඛිත භාවය සිය බිරිය ට දන්වා සිටීම මිස, සිය සෙනෙහස උලුප්පා දැක්වීමේ අභිප්‍රායයක් එහි නෑ.
“මල් ඇතුරුණු ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙ නෙතින් ආල වඩයි දෝ?
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
ඒ දුක්බර හඬ ඔබ ට ඇසෙයි දෝ?...“
එය යි නියම පීතෘ ස්නේහය. ඔහු වෙනෙ‘කෙකු කරා ගිය ඇය ට වෙර නො බැඳ, සිය දරුවා ගේ යහපත තකා සිය හැඟීම් මැඩපවත්වාගන්නවා. ඔහු හුදෙකලා වූ පෙම්වතෙක්. නමුත් පීතෘභාවය ඇයට නැවත එන්නටැ යි අයදින්නට ඔහු ට සවිය  සපයනවා.
පළමු ගීයේ ඇති එම අභව්‍යතාවයට හේතුව එහි රචිකාව ගේ ඇති අඩු පාඩුවක් යැයි සිතන්නට බැහැ. ඇය වෙනත් උසස් ගේය පද රචනා රැසක් කර ඇති නිසා. මට හිතෙන හැටියට ඊට එක ම හේතුව ඇය රචිකාවක් ලෙස ඒ ගීය රචනා කිරීම යි. ඇය එය රචනයේ දී එක්කෝ පියෙකු ගේ චිත්ත ස්වාභාවය ට සමවැදුණා නම් නැතහොත් පියා නොව වෙනෙ‘කෙකු විසින් ගැයෙන්නක් ලෙස එය රචනා කළා නම් එය ස්වාභාවිකත්වය ට වඩාත් ළං වනු නිසැක යි.
අවසන් වශයෙන්,
“මවකට මුවා වී නුඹ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණ යි දන්නේ...“
යන්න සලකන්න.
මෙය පියෙකු කිසිසේත් සිය දරුවාට කියන කතාවක් කියා මම සිතන්නේ නෑ. එය අස්වාභාවික වනවා මෙන් ම ඉන් එම පුද්ගලයා  සිය දරුවා ගේ මව ට, දරුවා ගේ සිත තුළ ලැබී ඇති ස්ථානය ට තරග කරන කරන අයුරක් ද පෙනී යනවා. සැබෑ පියෙක් කිසි දිනෙක එසේ කරන්නේ නෑ. එය පීතෘ ස්වභාවය නො වෙයි.
පුංචි පුතා ආ පසු “අම්මි“ ගේ වෙනස් වීම, නුරාව වෙනුවට ඉඳුනිල් දෙ නයනින් වෑහෙන දයාව දකිමින් ඔහු උපේක්ෂාවෙන් විඳගන්නවා. පියා සිය දරුවාට තරම් ම සිය බිරියට ත් ආදරය කරනවා.
“මම උඹලට මේ තරම් දේ කරල ත් උඹල ට මගේ අගයක් නෑ! අම්ම විතර යි උඹල ට ලොකු...“
කියා නම් ඔහු කියාවි යැයි සිතන්නට බෑ.
ඔහු කියන්නේ,
“තාත්තා වුණ ත් මම බත සරි කරන
අම්මා නුඹ යි මගෙ දරු දැරියන් රකින...“
කියා මිසක්,
“පිය සෙනෙහස නැති ද? දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණ ද? මතු බුදු වන්නේ...“
කියා නම් නො වෙයි...

22 comments:

  1. මෙහෙමයි මචං, මට හිතෙන හැටියට මේක තාත්ත නොකියන එක ඇත්ත. නමුත් යථාර්තය මේකයි. ඒක නොතේරෙන පුත්තුන්ට පියා ගැන හැඟීමක් ඇතිකිරීම වෙන්නැති රචකයාගෙ අරමුණ. මොකද ඔබ කියන විදියට කවදාවත් පියා මේව කාටවත් නොකියා නිහඬ ආදරකින් හදවත පුරෝගෙන ඉන්න නිසා. අනේ මංද. මටනම් ඉතින් ඔන්න ඔහොමයි හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගීතයෙ අරමුණ පැහැදිලි යි මචං.. ඒ්ක හරි, නමුත් පියෙකු ගේ දුක් ගැනවිල්ලක් නො කර, මව හෝ දරුවකු ගේ පැත්තෙන් එය ගැයුණා නම් හොඳ යි ෙන්ද? විශේෂයෙන් ම මවක් ඒය ගැයුවා නම් එය කො තරම් හැඟුම්බර පද මාලාවක් ද...

      Delete
    2. ඒක හරි මචං, උඹ මතුරපු කාරණය දැනුයි මට හරියටම තේරුනේ.

      Delete
    3. මමත් ලිපිය අවසානේ කියවලා මේ අයිඩියා පිට ඇවිත් මේ කොමෙන්ට් එක කියවල ආයේ පොස්ට් එක කියෙව්වම ක්ලික් වුනා උඹ කියන එක මචන්. සිරා තමයි ඒක. මේක මීට වඩා සිරා කරන්න තිබුනා ලේඩි වොයිස් එකක් තිබුනානම් නෙහ්...
      හැබැයි ගොඩාක් අය මේක අහන්නේ මනොෂ් කිව්ව අදහසින් නෙහ්..
      මෙහෙමත් හිතෙනවා තාත්තා කෙනෙක්ගේ යටි හිත නිකන් මේ වගේ කෑගහනවා ඇති කියලා. එත් ආයේ උඹ කියපු කාරනා කියෙව්වම....ආයේ නෑ කියලත් හිතෙනවා.පට්ට පොස්ට් එක. තව හිතල මේක බිඳින්න පුළුවන් වුනොත් කියන්නම් :D :D :D

      Delete
    4. මං කොහෙ හරි දැක්ක තාත්ත ගෙ ආදරේ හරියට බස් එකේ ඉතුරු රුපියල වගේ ලු.. හැමෝම දන්නව ඒක තියෙනව කියල.. ඒත් පේන්නෙ කලාතුරකින්.. ;)

      කවුරු හරි කිව්ව සමහර විට වැඩිහිටි නිවසක ඉන්න පියෙකු ගෙ සිතිවිලි කියල.. ඒකත් සෑහෙන දුරට වෙන්න පුළුවන්.. හැබැයි අම්ම ගෙදර තියාගෙන සලකන ගමන්... අප්පච්චි විතරක් පිට කළා නම් විතර නෙ මෙහෙම කියන්ට වෙන්නෙ....

      අදහසට ස්තුතියි මචං!!!

      Delete
  2. වෙනස් අදහසක්........................... බලන් ගියාම ඒකෙත් ඇත්තක් තියෙනවා වගේ.....................................

    ReplyDelete
    Replies
    1. සිංදු දෙක එකවර ම අහපු වෙලාවක හිතුණෙ මචං...උඹට පේන විදිහ වෙනස් වෙන්න ත් පුළුවන් :)

      Delete
  3. සිංදුවට වෙනස්ම අදහසක් දීලා..

    ReplyDelete
    Replies
    1. මට නම් හිතුණෙ මෙහෙම යි...අනේ මන්ද..
      ආවට ගොඩක් ස්තුතියි දිනේෂ් :)

      Delete
  4. හ්ම්....... වෙනස්ම අදහසක්. මෙහෙම හිතල නැහැ ඔය සිංදුව ගැන.. අදහස මොකක් උනත්, මං ආසම සිංදු වලින් එකක් :)

    ReplyDelete
    Replies
    1. මම නම් පුද්ගලික ව ඒ තරම් කැමැති සින්දුවක් වුණේ නෑ ඒක කවදාවත්...හැබැයි මේක ලිව්වෙ ඒ අකැමැත්ත මතු කරල පෙන්නන්න නම් නෙවෙයි...
      ආවට ත්, කොමෙන්ටුවට ත් ස්තුතියි බඩී :)

      Delete
  5. පියෙක් උනු දවසේ ඉදන් මම දැඩි ලෙස අකමැති ගීත වලින් එකක් ගැන හොඳ විවරණයක්... අතඇරුනු එකක් කියනවා නම් සංගීතය ඊටත් අන්තයි...

    පද රචනය පැත්තෙන් ගත්තාම එක සාධාරණ පැත්තකුත් තියෙනවා, ඔය කවිය ලියලා තියෙන්නේ අම්මෙක් මිස තාත්තෙක් නෙමෙයි. මම හිතන්නේ නැහැ ලේසියෙන් මවකට පියෙක් හිතන විදිහ තේරුම් ගන්න පුලුවන් කියලා.....

    හැබැයි සංගීතයයි ගායනයයි ඇතුලේ නම් පියෙකුගේ තිබිය යුතු පෞරුෂය ගෑවිලා වත් නැහැ...

    ReplyDelete
    Replies
    1. //ඔය කවිය ලියලා තියෙන්නේ අම්මෙක් මිස තාත්තෙක් නෙමෙයි//
      //මට හිතෙන හැටියට ඊට එක ම හේතුව ඇය රචිකාවක් ලෙස ම ඒ ගීය රචනා කිරීම යි//
      අපි දෙන්න ම එක ම අදහස නේද ඉදිරිපත් කරන්නෙ? :)

      ජෙමා අයිය එහෙම කිව්වට පස්සෙ මටත් හිතෙනව සංගීතයත් අවුල් වගෙ කියල..පද රචනය මිසක් සංගීතය ගැන නම් මම ගොඩක් හිතුවෙ නෑ..හිතන්න සංගීතය දැනගන්නත් එපා යැ ;)
      ආවට බොහොම ස්තුතියි අයියෙ :)

      Delete
  6. අප්පච්චියේ මේ බ්ලොග් එක මං දැක්කේ අදද මන්දා

    ReplyDelete
    Replies
    1. වෙන්ට ඇති වෙන්ට ඇති, හරි ම සතුටක් මට :)
      බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට :)

      Delete
  7. මට බ්ලොග් එකක් නම් නැ බං අහම්බෙන් මේ පොස්ට් එක දැක්කේ. මගේ අදහසත් මං කියන්නම්....

    උඹ මතු කරන අදහස පැහැදිලියි මචං. තාත්තා කෙනෙක් කවදාවත් මෙහෙම දුක් ගැනවිල්ලක් කියන්නේ නැ. තාත්තා කෙනෙක් මේ විදිහේ ගීතයක් ලියනකම් බලන් උන්න නම් මේ වෙනකම්වත් මේ වගේ ගීතයක් ඇත්තේ නැ . ඒ නිසා රචිකාවියක් මේක ලියපු එක සාමාන්‍ය දෙයක්. මොකද ලිව්වොත් ලියන්නෙත් රචිකාවියක් විතරයි.

    මේක පිරිමියෙක් ගයනා කරපු එකයි දුක් ගැනවිලි ස්වරුපයෙන් ගයනා කරපු එකයි ගැන කියන තියෙන්නේ මෙහෙමයි. උඹ මේ පොස්ට් එක පටන්ගද්දීම කිව්ව පිය ගුණ ගීතයක් කිව්ව ගමන් මතක් වෙන්නේ මේ ගීතය කියලා . ඔව් එක ඇත්ත. සමහර විට මතක් වෙන එකම පිය ගුණ ගීතයත් මේක විතරයි. මේ ගීතයට මේ තරම් ආදරයක් ජනප්‍රීය බවක් ඇතිවෙන්න එකම හේතුව එක පියෙක් විසින්ම තමන්ගේ වටිනාකම මෙන්න මේකයි කියල දරුවට තේරුම් කරන්න උත්සහ කරපු නිසයි. එහෙම නොවෙන්න අදටත් හරි හමන් පිය ගුණ ගීතයක් නැ.

    අනිත් කාරණාව තමා ගැනු කෙනෙක් පියාගේ ගුණ කියන විදියට මේක ගයනා කල නම් මේක මිට වඩා ලස්සන වෙන්න තිබුන කියන දෙය. ඔව් ලස්සනට ගයනා කරලා තියෙන්න නම් ඉඩ තිබුන තමයි. :) හැබැයි එකත් කව්රුත් වැඩිය අහල නැති තවත් එක පිය ගුණ ගීතයක් බවට පත්වෙයි. උදාහරණයකට ගත්තොත් " පිතු සෙනෙහෙ පිදු " කියන ගීතය. පිය ගුණ ගීතයක්. ලස්සනයි. අර්ථවත් . දක්ෂ ගායිකාවක් විසින් ගයනා කරලා තියෙනවා. එත් පිය ගුණ ගීතයක් කිව්වොත් කාට හරි ඒක මතක් වෙයිද. අවංකවම මට නම් නැ. පියෙක් විසින්ම ගයනා කරපු නිසයි "අම්මා සදකි" ගීතය දරුවන්ගේ හදවතට දැනුනේ. තමන් තේරුම්ගන්න උත්සහ නොකරපු යථාර්තයක් දරුවන්ට තේරුණා.

    ලංකාවේ මව් ගුණ ගීත අනන්තවත් තියෙනවා. ඒ අතරිනුත් හදවතට දැනෙන විදියේ ඇසට කදුළු එන මව් ගුණ ගීතත් ගොඩක් තියෙනවා . එත් හදවතට දැනෙන විදියේ පිය ගුණ ගීතයකට තියෙන්නේ එකම එකයි . ඒ මේක විතරයි. මේක නිසා තමන්ගේ තාත්ත ගැන තියෙන ආදරේ වැඩි වුන අය ඕන තරම් ඇති. ඉතින් ඇයි මචං තියෙන එකම එකටත් විචාර ලියල එකට ආදරේ කරන අයගේ හිත් වෙනස් කරන්න හදන්නේ. මං තාත්තා කෙනෙක් වුන දවසට මේක ගායනා කරන්නේ නැතිවෙන්න පුළුවන්. එක වෙනම කතාවක්. එත් මිහිරි තනුවක් තියෙන අර්ථාන්විත ගීතයක් හැටියට මං මේකට ආස කරනවා. එකට මං තාත්තා කෙනෙක්ද නැද්ද කියන එක අදාල නැ.

    අනිත් එක තමා උබ විචාර කරපු අනිත් ගීතය පිය ගුණ ගීතයක් නෙමේ කියන එකත් කියන්න ඕනේ. එක යම්කිසි සිද්දියක් නිසා පියෙක් මුහුණ දෙන අත්දැකීම් අලලා ලියවුනු ගීතයක්. වක්‍රාකාරයෙන් එකේදී පියාගේ හොද ඉස්මතු වෙනවා තමයි. එත් එකේ පියාගේ ගුණ කියවෙන්නේ නැ. මව් ගුණ , පිය ගුණ ගීතයක් ඕනේ වෙන්නේ අහනකොට හිතට වදින්න මිසක් පේලියෙන් පේලිය විචාර කර කර ගුණ හොයන්න නෙමේනේ බං. හැමෝටම දැනෙන තේරෙන විදියට ලියවුනු "අම්මා සඳකි" ගීතයේ මං නම් කිසිම වරදක් දකින්නේ නැ. උබේ අදහසට අනුව මේකේ පද මාලාව තනුව රචකයා සහ ගායකයා වෙනස් උනා නම් මනසින් විදග්ධ ( මට නම් මේ වචනේ හෙන බරයි මචං උබ පොස්ට් එකේ දාල තිබ්බ නිසා දැම්මේ :D ) විචාර කරන්න තරම් ජනප්‍රීය වුන පිය ගුණ ගීතයක් ලංකාවේ ඇත්තෙත් නැ මේ පොස්ට් එකත් නැ :P

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ආවට ඉස්සෙල්ල ම ස්තුතියි කියල පටන් ගන්නම්. ඒ වගේ ම ඔබෙ අදහසට ත් මම සෑහෙන දුරට එකඟ යි. ඒ්ත් මම පිළිතුරු දිය යුතු තැන් කීපයක් තියෙනව.

      1. ඔබ පිතු සෙනෙහේ ගීතය උදාහරණයට අරන් කියනව //පිය ගුණ ගීතයක්. ලස්සනයි. අර්ථවත් . දක්ෂ ගායිකාවක් විසින් ගයනා කරලා තියෙනවා. එත් පිය ගුණ ගීතයක් කිව්වොත් කාට හරි ඒක මතක් වෙයිද. අවංකවම මට නම් නෑ// කියල. නමුත් එයින් ඔබ කියන්නට හදන්නෙ ගායිකාවන් ගායනා කරන ගීත හැමෙකක් ම ඒ වගේ වෙනව කියල ද?. ඔබ ට මතක් නොවුණ ත් එයින් කියැවෙන්නෙ නෑ ගීත ශ්‍රාවකයන් සියලුදෙනාට ම එහෙමයි කියල, නේ ද?

      2. ගීතයෙ අර්ථාන්විත බව මම ප්‍රශ්නයට නගන්නෙ නෑ. එය නිමැවී ඇති පසුබිම තරමක් දුරට ස්වාභාවිකත්වයෙන් පිට යන බව යි මම මතුකරන්නෙ. ගීතයෙ තනුව මිහිරි යි කියන එක ට නම් මම එකඟ වෙන්නෙ නෑ.

      3. ඒ වගේ ම මම ලිව්වෙ ගීතය ගැන මගේ අදහස මිසක් මිනිසුන් ගෙ හිත් වෙනස් කරන යමක් නො වෙයි. එයින් යමෙකු ගෙ හිත් වෙනස් වුණ ත්, එය මගේ වුවමනාවට නො වෙයි.

      4. පවනට සැලෙනා ගීතය පිය ගුණ ගීතයක් නො වන බව මම හොඳින් ම දන්නව. මම මෙහි දී ඒ සමග සැසැඳුමක් කළේ පිය ගුණ ගීතයක් නොවුණ ත් ඉන් පියකු ගේ නියම මානසික ස්වභාවය එළි වන නිසා යි. එහි පියාගෙ ගුණ අනෙක් ගීතයෙ මෙන් කණ ට ඔබන්නෙ නෑ, නමුත් ඔබ කී ලෙස ම //වක්‍රාකාරයෙන් එකේදී පියාගේ හොද ඉස්මතු වෙනවා//. ඔබේ තර්කයෙ හැටියට දවසක් පැල නැති හේනේ ගීතය ත් මවු ගුණ ගීයක නො වෙයි. මොකද එහි ත් මවු ගුණ ඉස්මතු වන්නෙ වක්‍රාකාරයෙන්.

      5. මම මෙ තැන කරන්නේ මගේ හිතට එන අදහස් බෙදා ගැනීම මිසක් කියවන අය ගෙ මොළ සේදීමක් නො වෙයි. එහෙම අවැසි වුණා නම් මට මේක බුකියෙ ස්ටේටස් එකක් විදිහට දාන්ට තිබුණ, අතළොස්සක් කියවන බ්ලොගක නොදා.‍ //"අම්මා සඳකි" ගීතයේ මං නම් කිසිම වරදක් දකින්නේ නැ// බොහොම හොඳ යි මචං. ඒ ඔබෙ අදහස. ඔබට දැනෙනෙ විදිහ. ඉතින් මම මට දැනෙන විදිහ කිව්ව. ඔබ ඔබ ට දැනෙන විදිහ කිව්ව. ඉතින් ඔබ කළ දේ ම නේද මමත් කළේ? අදහස් වෙනස් කරගන්න එක, නැති එක තමන් ගෙ කැමැත්ත නෙ මචං.

      6. ගීත අහන විදි එකිනෙක ට වෙනස්. ඔබට අවැසි නම් මතුපිට අරුතින්, නැති නම් //පේලියෙන් පේලිය විචාර කර කර ගුණ හොයමින්// නැත්නම් මෙලෝ තේරුමක් නැතිව ම.. ඒක තම තමන් ගෙ කැමැත්ත. මම කැමති යි ඒ ගීතය ගැන වෙනස් විදියට කතා කරන්න, ඉතින් මම එහෙම කළා. ගීත පමණක් නෙවෙයි, රසිකය ට අයිතිය තියෙනව ඕනෑම නිමැවුම ක අකුරින් අකුර වුණ ත් අරන් විමසන්න.

      7. //මනසින් විදග්ධ විචාර කරන්න තරම් ජනප්‍රීය වුන පිය ගුණ ගීතයක් ලංකාවේ ඇත්තෙත් නැ මේ පොස්ට් එකත් නැ :P//
      මේ පෝස්ට් එක නැති වුණා කියා මට කිසි ම පාඩුවක් වෙන්නෙ නෑ මචං. මේව ලියනවට මට ගෙවන්නෙ නෑනෙ. ඉතින් ලියන්නට ගිය කාලය හරි මට ඉතිරි වේවි. මම යමක් ලියන්නෙ මට හිතෙන නිසා මිසක් මිනිසුන් ට කියවන්ට දෙයක් දෙන්ට වත් කිසිම තැනක ‘පොරක්‘ වෙන්ට වත් නෙවෙයි. එිහෙම නම් මට ත් තිබුණ උදේ දැකපු දෙයක් ගැන, හවස කෝච්චියෙ වුණු දෙයක් ගැන කිසි කමකට නැති පල් හෑල්ලක් හැමදා ම ලියන්ට. ඒ වගෙ සයිට් දැකල තියෙනව නෙ?

      8. //මට නම් මේ වචනේ හෙන බරයි මචං උබ පොස්ට් එකේ දාල තිබ්බ නිසා දැම්මේ :D// තමන් ගෙ මව් බාසාව තමන්ට බර යි කියල කියන අවස්ථා වල දාන්ට ඕන ‘:D‘ නෙවෙයි මචං ‘:(‘ . උපන් දා ඉඳල ම ඒක ම ඇහිල, කතාකරල, කියවල, ‘බර‘ වචනයක් ඇහුණ ම පොඩි Funny ticklish feeling එකක් එනව නම් හොඳ ම දේ තවත් විදග්ධ ලෙස විදග්ධ කෘතීන් කියවී ම යි.

      9. ඔබ ට බොහොම ස්තුතියි මචං!! ජයවේවා!!!

      Delete
    2. අනිත් දේවල් වලින් නම් වැඩක් නැ මං 8 වෙනි කරුණ ගැන පොඩ්ඩක් කියන්නම්. මං හිතන්නේ උබ මට ආපු funny ticklish feeling එක වැරදියට තේරුම් අරගෙන වගේ. (ආයෙත් හිනා ඕයි :D). මට හිනා ගියේ 'විදග්ධ' වචනයේ බර ගතිය නිසා නම් නෙමේ. මේ සින්දුව ගැන "උබට විතරක්" ආපු ගොන් Idea එක ගැන කාටවත් ප්‍රයෝජනයක් නැති හිනා යන පොස්ට් එකක් ලියන්නත් අර වගේ සිංහල භාෂාවේ ගැඹුරු වචන use කරල තියෙනවා දැක්කම. :)) :D

      උබටත් බොහොම ස්තුතියි!! ජයවේවා!!!

      Delete
    3. උඹේ අදහසට එකඟ නොවී ඒකට කරුණු දැක්වුවා ම අනවශ්‍ය විදිහට අපහාසාත්මක ව කතා කරන එක හරි නෑ මචං. මම උඹව පුද්ගලික ව තියා වෙබ් එකෙන් වත් අඳුරන්නෙ නෑ. ඉතින් මට පේන්ට බෑ එහෙම එකෙක් මගෙ යාලුවෙක් වගේ ඕයි, ගොනා කියල අමතනවට. වැදගත් විදිහට කරුණු දක්වන්ට. මම සිංහල භාෂාවෙ ගැඹුරු වචන පාවිච්චි කරන එක උඹට මේ තරම් අවුල් නම්, උඹ ඒ භාෂාවෙ පහත් ම වචනයක් මගේ බ්ලොග් එකේ යොදනකොට මට කොයි තරම් අවුල් ද නේද?
      මම ආපහු කියනව, මම මෙතැන ලියන්නෙ මට ඕනෑ නිසා මිසක් කාගෙවත් හිත පිනවන්ට වත් තෙල් ගහන්ට වත් නෙවෙයි. ඉතිං මචං මට විතරක් එක , කාටවත් ප්‍රෙයා්ජනයක් නැති ගොන් අයිඩියා ගැන උඹට අවුල නම් කරන්ට ඕනෑ දේ සරලයි. ඒ වගේ දෙයක් දැක්ක ගමං උඹෙ ස්ක්‍රීන් එකේ දකුණු පැත්තෙ උඩ කෙළවරේ තියෙන කතිර ලකුණ ක්ලික් කරන එකයි..

      ජයවේවා!

      Delete
  8. මම පිටුගණන් පල් හෑලි ලියන බ්ලොග් කාරයෙක් වුණත්, මේ වෙලාවේ මගේ හිතට එන සිතුවිලි අකුරු කර ගන්න බැරි අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. මොකද මම හිතන්නේ මේ පොස්ට් එකෙන් ලැම්බා කියන්න හදන දේ 200%ක් හරි බව සහතිකයක් දෙන්න මට පුළුවන්. හේතුව මේක මම ජීවිතයේදී සැබෑවටම මුහුණ දීපු අත්දැකීමක් නිසා. අම්මා සඳකි කියන ගීතය මටත් සත පහක වටිනාකමක් නැති ගීතයක්. මම විශ්වාස කරන්නේ ඒ ගීතයෙන් පිය සෙනෙහස හෑල්ලු කරනවා කියන එක. අවංකවම පියෙක් තමන්ගේ දරුවන්ට යුතුකම් ඉටු කරන්නේ අබමල් රේණුවක දෙයක් බලාගෙන නෙවෙයි. ඇත්තටම දෙවෙනි ගීතය මම වගේ පියෙකු වෙනුවෙන් ගැයුණු ගීතයක් කියලා දැන ගත්තේ මේ පොස්ට් එක නිසා. සජීවී අත්දැකීමට වඩා, විචාරයෙන් මේ පදවැල් දෙස බලපු මම දුක් වුණා. කොටින්ම ඉකි ගසා ඇඬුවා. බ්ලොග් කාරයෙක් වුණ මට අහු නොවුණු මේ අඩවිය මුහුණු පොතේ ශෙයා කල මගේ මිත්‍ර දර්ශණ වීරකෝන්ට විශේෂ ස්තුතිය.

    ReplyDelete
    Replies
    1. උඩ කොමෙන්ට් කරල තියෙන ජෙමා අයිය වගේ ම, තවත් පිය පදවිය ලැබුවෙකු ත් මං දක්වල තියෙන අදහස ට එකඟ වෙලා තියෙන එකෙන් ආපහු ත් ඔප්පු වෙනව මං හිතුව දේ හරි කියල. අප්පච්චි කෙනෙකු ගෙ හිතක හැටි ඇත්තට ම පෙන්නන්න ඒ ගීතය අසමත් වී ඇති බව. ඊට ත් වඩා මට සතුටු යි මම ලියූ යමක් කෙනෙකු ගෙ හිතට ඒ තරම් ම වැදිල තියෙන එක ගැන.
      මේ පැත්ත ආ සුදීක මහතාණෙනි ඔබට ත්, ඔබට මේ බ්ලොග පෙන්වූ මිතුරාට ත් මගේ හෘදයාංගම ස්තුතිය. ඔබේ අදහස් මට ඉතාම වටිනව.
      ජයවේවා ඔබට!

      Delete
  9. ලැම්බා,
    අහම්බෙන් ගොඩවෙච්ච ඉයන් ගේ අඩවියට මම ලියපු ප්‍රථිචාරය දිගේ මාව මෙතැනට එක්කන් ආපු ඔබට බොහෝම ස්තුතියි. ගී පද රචනා වගේ දේවල් දිහා ජනප්‍රිය මතයන්ගෙන් මිදී මෙහෙම කියවන්න, ඒ ඔස්සේ සාකච්චා කරන්න මම හරිම කැමතියි ඒ වගේම ඒක තුල තියෙනවා හරිම සුන්දර සාහිත්‍ය රසාස්වාදනයක්.
    මේ ගීතය මුලින්ම අහපු දවසේ ඉඳලම මම ඉතාම අක්මැති වුනු ගීතයක් ඒක. මේ ගීතය මම හඳුන්වන්නේ "පියාගේ නෝක්කාඩුව" කියලයි. ඔබ වගේම ඔබේ අදහස නිසා සත්‍යවාදීව මේ ගීතය දිහා බැලූ හුඟ දෙනෙක් මේ ගීතය නෝක්කාඩුවක් බව වටහාගෙන තියෙන බව පෙනෙනවා. ඇත්තෙන්ම මේක බෝසත් ගුන පිරි පියවරුන්ට කරන නිගාවක්. මම තාත්තෙක් නිසා එහෙම කියනවා නෙවෙයි ඒත් මම ත් තාත්තෙක් විදියට කැමති අන්න ඒ බෝසත් තාත්තෙක් වෙන්න.

    ඔබ දෙවැනියට දක්වා ඇති දොඹ මල් සැලෙනා ගීතය ඉතා හොඳ සාර්ථක ගීතයක් ඒත් ඒක බොහෝ දෙනෙකුගේ අත්දැකීම නෙවෙයි, ඒ වුනත් ඇත්තටම එවන් තත්වයකට මුහුණ දුන් පියෙකුට තම දිරිය රැක ගැනීමට වෙර දෙන ධානාත්මක අදහසක් කියලයි මම දකින්නේ.

    ඔබ තුන්වැනියට දක්වා ඇති ගීතය, මම දන්නා තරමට ලියැවී ඇත්තේ පිරිමියෙකු අතින් වුවත් ඔහු අවිවාහකයෙක්. ඒත් ඔහු තුල කිඳා බැස ඇති පියෙකු ගැන මතය කෙබඳුදැයි බලන්න. ඇතැම් විට ඔහු මේ ගීතය රචනා කලේ ඔහුගේම පියාගේ ආත්මයට කා වැදී වන්නට පුළුවන්. ඇත්තෙන්ම තම කුසට නොකා දරුවන්ට ආහාර සපයා, තමා කෑ බව බොරුවට කියා බිරිඳටත් අහර සපයන සැබෑ පියවරුන් අප අතර නැතිද. අන්න ඒ වර්ගයේ පියෙකුගේ සැබෑ චින්තනයයි මේ තෙවැනි ගීතයෙන් කියැවෙන්නේ.
    මා ඇගේ පහස විඳිමින් දරුවන් ඇයට දුන්නත් ඇය ඒ දරුවන් ලොවට ගෙන ඒමටත් හදා වඩා ගැනීමටත් දැරූ වෙහෙස මේ ලොව කාගේ වෙහෙසකට සම කල හැකිද? තාත්තා කෙනෙකුට දරුවන් ඒ අම්මාගේ ගුණයට පුදනු බලා සතුටක් ලැබීම මිස ඒ ගැන අහිතකින් මොහොතකට හෝ නෝක්කාඩු ස්වරයෙන් "අමාවරුන් විතරද මතු බුදු වන්නේ ?" කියා කිව හැකිද?
    බහුතරයක් නොදකින මේ අභව්‍ය ගීත රචනය ගැන ප්‍රසිද්දියේ කථා කල ඔබට සැබැවින්ම ස්තුතියි.
    එය ඔබ පියවරුනට කරන සාධාරණයකි.
    මව් වරුනට කරන ගෞරවයකි.

    ReplyDelete