2017-01-29

මිණි නිල් නයන පැහැ‘දුල් වන රණ මොණරි




මාස ගාණකට පස්සෙ මඳෙව් විල පැත්තෙ පය ගැහුවෙ. සතුටුදායක ආරංචියක් කියන්ට ආවත් විල දැක්කම පපුව හෝස් ගාල ගියා.. නෙලුම්, මානෙල්, ඕලු පැල වහගෙන ඕසෙට ජපන් ජබර, සැල්වීනියා, වෙන වෙන වල් ජාති වැවිල නෙව.. විලේ දැන් වෙන මල් නො පිපෙන එකේ ඒ පඳුරු වල වත් මල් පිපුණාවෙ කිය හිත හදාගන්නව.. මේක සුද්ද පවිත්තර කරන්ට ළඟක දි එන්ට වේ ය කියල හිතන්ට අමාරුයි..



ඒකෙං මේකෙං කියන්ට ආපු ආරංචිය ත් අමතක වුණා නෙව.



දෙදාස් දාහතර අවුරුද්දෙ  මන්මද  නමින් ලැම්බ ලියපු කවි පන්තිය මඳෙව් විලේ දැක්ක අමෙරිකාවෙ ජීවත් වන මහත්මයෙක් ලැම්බගෙන් අවසර ඉල්ලුව ඉන් කවි කිහිපයක් යොදාගෙන ගීයක් නිමවන්ට. යමෙක් එහෙම ඉල්ලීමක් කරන්නෙ ඒ තුළ යමක් රස වින්ද නිසා සහ එය ඉතා අගයන නිසා නෙව. ඉතින් ලැම්බ ත් එක පයින් ම කැමැත්ත දුන්න. ඊට පස්සෙ වැඩ කටයුතු ත් එක්ක අපට ත් ඒක එහෙම ම අමතක වෙලා ගියා. ගීතය කරනව ද, ඒවට වියදම් කොහොම ද, වැඩේ අතෑරිය ද, ඒ කිසි ම දෙයක් අහන්ට වත් ඉස්පාසුවක් මතකයක් තිබුණෙ නෑ.



දෑවුරුද්දකට පස්සෙ, දෙදාස් දාසයෙ නෙවැම්බර් මාසෙ දවසක ලැම්බට ඒ මහත්මයාගෙන් ඊ පතක් ලැබිල තිබුණ. ඒකෙ සිරැසිය තිබුණෙ "Your song is completed" කියල. ඒ වෙලාවෙ දැනුණු හැඟීම නම් විස්තර කරන්ට තේරෙන්නෙ නෑ. සබැඳිය විවර කරන්ට මූසිකය ගෙනියන්ට ත් අමාරු වෙන තරමට ඇඟ ත් පණ නැති වුණා වගේ.. ඉතින් ගීතය අහනකොට දැනුණු දේ විස්තර කරන්ට නම් බොහොම අමාරු යි. තවම ඒ අද්දැකීම ලබල නැති වුණ ත්, පියෙකු වුණා ම දැනෙන හැඟීමට ඒ දැනුණු හැඟීම නෑකම් කියනව ඇති කියල මට හිතෙනව..



ලැම්බ ගෙ කවි පෙළ ට “මිණි නිල් නයන“ නමින් පණ පොවපු එතුමා නමින් ශාන්ත සේනාධීර. අණුක ජීව විද්‍යාඥයකු හැටියට අමෙරිකා එක්සත් ජනපදයෙ සේවය කරන මහත්මයෙක්. ගීතයට මියැසි මුසුව ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීන සංගීතඥයකු වන නාලක අංජන කුමාර මහත්මයා අතින්. ගීතය පටිගත කරන ලද්දේ සොනික් ශබ්දාගාරයේ දී යි. පද පෙළ හැරුණුකොට ගීතය නිර්මාණයේ දි අප අතින් වෙනත් කිසිදු දායකත්වයක් නො ලැබුණු බව වෙසෙසින් කිව යුතු යි. වියදම හැරුණුකොට අමෙරිකාවේ සිට අන්තර්ජාලය සහ දුරබණුව ඔස්සේ සිරිලක සමග සබඳතා පවත්වාගනිමින් ගීයක් නිමැවීම ද පහසු කරුණක් නො වෙයි. ඒ සියල්ල ම වෙනුවෙන් ඒ දෙපළ ට කෘතඥපූර්වක ව ලැම්බ තුති පුදනව.



මඳෙව් විල ට පියඹා එන සුදු හසුන් වන පාඨක ඔබෙන් කාරුණික ඉල්ලීමක් කරන්ට කැමති යි. මවකට දරුවකු ගේ අඩුපාඩු නො පෙනෙනව වගේ, නිමැවුම්කරුවන්ට නිමැවුමක අඩුපාඩු පෙනෙනව අඩු යි. ඉදින් ඉදිරි නිමැවුම් සඳහා උපයෝගී කරගන්නට හැකි වන ලෙසට ගීතය පිළිබඳ ව ඔබේ අදහස් පළ කරන ලෙස කාරුණික ව ඉල්ලනව. අදහස් උදහස්  විවේචන සියල්ල ම එක සේ ම තුටින් බාරගන්නව.



ගීතය අද (2017/ 01/ 30 සඳුදා) දින පස්වරු 9.30 - 10.00 අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ City FM 89.6/ 89.8 MHz තරංග මලා ඔස්සේ ප්‍රචාරය වන්නට නියමිත යි. ඊට පෙර පහත සබැඳිය ඔස්සේ ඔබට ඊට සවන් දෙන්ට හැකි යි. :)





මෙ තැනින්  එහි හඬපටය ට සවන් දෙන්නට ඔබ ට හැකි යි.



මිණි නිල් නයන පැහැ‘දුල් වන රණ මොණරි

දෙ ලවන් රතින් රත පරදන සඳ කිඳුරි

හිරිමල් ගතින් සිත රඳවා හිඳිනු බැරි

සිත රොන් මතින් මත් කළ මැන මල් කුමරි



සනහස සසල මදහසයෙන් ගෙන දෙමිනි

ළැමහස මුවා කළ මැන නිල් වරල‘ගිනි

නෙක රස සහස සහසින් දී මුව අගිනි

සිසිලස දෙවනු, නිවමින් සිත නුරා ගිනි



සිත රැඳි නුරා සෙනෙහස් දිය රැගෙන තෙමා

රත‘දර විතින් ගෙන දෙනු මැන රසය අමා

තරු බර අහස පිසිමින් රැය බසියි හමා

හිරු එයි සොඳුර, පෙති විහිදනු කිම ද? පමා



හඬ: ශාන්ත සේනාධීර

තනු: නාලක අංජන කුමාර



අවසන් වශයෙන් මඳෙව් විල ට දියවර වැනි ව මෙහි රැඳී සිටින පාඨක ඔබ සැමට ත් ලැම්බා සිය තුතිය හිස නමා පුදකරනව...ගීතය ගැන ඔ අදහස් පළකරන්න....