2013-11-15

සරසවි වැණුම් - 1




චුයිංගම් සමුළුව නිසා ලැබුණ පොඩි නිවාඩුවෙදි වත් මොනව හරි ලියන්ට ඕනැ කියල ලැම්බ කල්පනා කොළා. මොනව ලියන්ටද කියල හිතනකොට යි කාලයක් තිස්සෙ හිතාගෙන හිටපු මේ මාත්තුරුකාව මතක් වුණෙ.



සරසවිය, එහෙමත් නැත්නම් සකු (සංස්කෘත) බසින් සරස්වතී ලෙසින් හැඳින්වෙන්නෙ සියලු ම කලාවන් ට සහ විද්‍යාවන් ට අධිපති ලෙස සැලැකෙන දෙවියනු යි. එම නිසා ම කලාත්මක සහ අධ්‍යාපනික කටයුතු වල දි ඇයට විශේෂ තැනක් හිමි වෙනව. සරසවිය යන හෙළ වදනෙ අරුත, සර= ස්වරය/ ශබ්දය; සවි= ශක්තිය; එනම් ශබ්දයෙහි (සංගීතය සහ කවිය) බලය කැටි කොට ගත් තැනැත්තිය යන්න යි. සරස්වතී යන්න එම හෙළ වදනින් සකු බස ට බිඳී ආ වදන යි.

ඇය සාමාන්‍යයෙන් සුදු පැහැ ඇඳුම් ඇඳි, සරල අබරණ කිහිපයකින් සැරැසුණු කෙනෙකු ලෙස නිරූපණය කෙරෙනව. ඇය හිඳ සිටින්නේ සුදු නෙලුමක් මත. ඈ අසල සුදු හංසයින් දකින්නට ලැබෙනවා. එම සුදු පැහැයෙන් නිරූපණය වන්නේ දැනුම සහ පිවිතුරු බව යි. නෙලුම මගින් සත්‍යය නිරූපණය කෙරෙනවා. කිරෙන් දිය වෙන්කළ හැකි යැයි සැලැකෙන හංසයා විසින් පෙන්වනු ලබන්නේ හොඳ සහ නරක/ විද්‍යාව සහ අවිද්‍යාව ගැන ඇය තුළ ඇති දැනුම යි.

සරසවිය අත් සතරක් ඇත්තියක ලෙස දැක්වෙනව. මෙම අත් සතරින් ඉගෙනීමේදි මනුෂ්‍ය පෞරුෂයේ පැති කඩ සතර පෙන්වන බව යි කියැවෙන්නෙ. එ නම්, මනස, ආධ්‍යාත්මය, සිහිය සහ ආත්මාර්ථය යි. ඇය සිය අත් සතරෙ හි පොතක්, මුතුහර ක්, කළසක් සහ වීණාවක් දරා සිටිනව. ඒවා මගින් පිළිවෙළින්,


-පොත - වේදය හෙවත් විද්‍යාව, දැනුම,
-මුතුහර - කාව්‍ය කලාව ,
-කළස - මැවීමේ සහ පවිත්‍ර කිරීමේ බලය,
-වීණාව - සංගීතය ඇතුළු කලාවන්ට ඇති අධිපති බව,

පෙන්වනව.

ඇය කලාවට අධිපතිනිය වීම නිසා සංගීතයෙ දි ඇයට විශේෂ ගෞරවයක් හිමිවෙනව. ඒ නිසාම ඇය වෙනුවෙන් නිමැවී ඇති ගීත ද රැසක් තියෙනව. ඒ අතර මම කැමැති ම ගීතය ගැන යි කතා කරන්නට හිතුවෙ.

මෙය රචනා කර තියෙන්නෙ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්. විශේෂයෙන් කිවයුතු වන්නේ මෙය සිංහල ගීයක් නොව සම්පූර්ණයෙන් සකු බසින් ලියැවුණක් බව යි. නමුත් අද අපි හෙළ වදන් වලට වඩා සකු වදන් වහරන නිසා එය එසේ බව බොහෝ අය දන්නේ නෑ. අපි ගීතය සලකමු,



ජගන්මෝහිනී - මධුර භාෂීණී
චාරු දේහිනී - කමල වාසිනී
සරස්‌වතී දේවී වන්දේ සරස්‌වතී දේවී


කම්පිත කංචන මාලා කූජිත කිංකිණි නූපුර ජාලා
පාද සරෝඡේ කටී තටාකේ චංචල නර්තන ලීලා


මීන මකර පංකජ රූපාකුල අංකිත කුංකුම රේඛා
පූර්ණ කුම්භම්ව පීන පයෝධර පූරිතාමෘත ධාරා


භාග්‍ය සාධන පුණ්‍ය මූර්තිධර සුරකුල වර අභිරූපා
දේහි දේහි වරදායක හස්‌තේ ශුභ මංගල මූද්‍රා



මෙය මානවසිංහයන් ගේ පුළුල් භාෂා ඥානය පෙන්වන හොඳ උදාහරණයක්. එය මට නම් වඩා ත් රසවත් ව දැනෙන්නේ වෙනත් බසකින් ලියූවක් බව නො හැඟෙන ලෙසට රචනයට එ තුමා දැක්වූ කෞශල්‍යය නිසාම යි. මට හැකි පමණින් මෙහි අරුත පහදන්නට උත්සාහ කරන්නම්.


ජගන්මෝහිනී - මධුර භාෂීණී
ජගත්+මෝහිනී (සන්ධිය)= ජගන්මෝහිනී - ලෝකයා වසඟ කරවන්නා වූද,
ප්‍රිය තෙපුල් ඇත්තා වූද,

චාරු දේහිනී - කමල වාසිනී
සුන්දර සිරුරක් ඇත්තා වූද,
නෙලුමක වාසය කරන්නා වූද (සරස්වතිය මහ බඹු ගේ මුවෙ හි වාසය කරන බව සකු සාහිත්‍යයේ සඳහන් වේ. කාව්‍ය සාහිත්‍යයේ මහ බඹු ගේ මුව නෙලුමකට උපමා කරනු දැකිය හැක.)

සරස්‌වතී දේවී වන්දේ සරස්‌වතී දේවී
සරසවිය වන්දනා කරමි...


කම්පිත කංචන මාලා කූජිත කිංකිණි නූපුර ජාලා
පාද සරෝඡේ කටී තටාකේ චංචල නර්තන ලීලා

පැළැඳි රන් දම් සසල කෙරෙමින්, පා සළඹ හඬ නංවමින්,
ඇගේ පාද නමැ‘ති පියුම් සහ උකුළ නමැ‘ති විල නර්තන භාව භාව දක්වති...


මීන මකර පංකජ රූපාකුල අංකිත කුංකුම රේඛා
පූර්ණ කුම්භම්ව පීන පයෝධර පූරිතාමෘත ධාරා


ඇය ගේ සිරුරේ කොකුම් වලින් ඇඳි රේඛාවෝ, මත්ස්‍යයන්, මකරුන් සහ නෙලුම් මල් වල රූප සලකුණු කරති..
ඇගේ (පූර්ණ කුම්භම්ව = පූර්ණ කුම්භ+ඉව =) පිරුණු කලස් වැනි පුන් පියොයුරු තුළ අමා රස දහරා පිරී ඇත..


භාග්‍ය සාධන පුණ්‍ය මූර්තිධර සුරකුල වර අභිරූපා
දේහි දේහි වරදායක හස්‌තේ ශුභ මංගල මූද්‍රා

වාසනාව උදා කරන, පින්වත් බවෙ හි අනුරුවක් බඳු වූ, දෙවියන් අතර සිටින උසස්තම සුරූපිකාවෙනි,
වරම් දීමෙහි සමත් වූ ඔබ ගේ අතින් සුබ මඟුල් සලකුණු දෙනු මැනැවි...


මේ උසස් ගේය රචනාව ට, ඊට මැනැවින් ගැලැපෙන කන්කලු නාද මාලාවක් යොදා, උසස් භාවයන්ගෙන් යුතු ව, අමරදේවයන් විසින් කරන ගායනය අතිශයින් ම රමණිය යි...

තවත් රසබර සරසවි වැණුමකින් හමු වෙමු!!!

සරසවි වැණුම් දෙ වැනි කොටස මෙ තැනින් 
 

ගීතය මෙ තැනින් රස විඳින්න...






  • 0

18 comments:

  1. මේක සුපිරි මචන්. මම ලියන්න හිතාගෙන හිටපු, තවම කාරනා එකතු කරමින් හිටිය එකක්. මම හිතාගෙන හිටියට වඩා සුපිරියටම උඹ ලියලා තියෙයි. මේක හඳුන්වන්නේ සරස්වතී අභිනන්දන ගීතය කියලා. මේක ගැන දාන්න සරස්වතී දේවිය ගැන විස්තර ටිකක් හොයමින් හිටියේ මම. ඒ ටික ලැබුනම ඒ ටිකත් එක්කම මේකේ ලින්ක් එක දාන්නම්. උඹේ මේකේ සුපිරියටම විස්තර කරලා තියෙයි. එල එල ජය ජය :D

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචං..උඹ මට වඩා විස්තර ඇතුව දානවනෙ..ලින්කුව මෙතැන ත් දාමු :)

      Delete
    2. හී හී අපි දෙන්නම දෙන්නව මොරාල් කොර කොර ඉමු හඃ හඃ හඃ

      Delete
    3. හකස් :ඩී
      හවුලේ පිට කසාගැනීම ;)

      Delete
  2. පණ්ඩිත් අමරදේවයන්ගෙ මම ආසම කරන ගිත වලින් එකක් :)

    ReplyDelete
    Replies
    1. මම මේක උදේ හවා අහන එක ම සිංදුව :)

      Delete
  3. අඩේ සකු බස කියන්නෙ මොකද්ද කියල මේ නුගත් අපිට පොඩ්ඩක් පැහැදිලි කරා නම්..... මට නම් ඕක සිංහල වලින් වෙනස් වන හැටියක් නොපෙනේ.

    ReplyDelete
    Replies
    1. සකු කියන්නෙ සංස්කෘත බසට කියන හෙළ වදන..වෙනසක් නො පෙනෙන්න හේතුව අද අපි කතා කරන වදන් වලින් බොහොමයක් සකු වදන් වීම..
      සකු වදන - සිංහල වදන - හෙළ වදන
      ලක්ෂණ - ලක්ෂණය - ලකුණ
      වෘක්ෂ - වෘක්ෂය - රුක
      මණ්ඩල - මණ්ඩලය - මඬුල්ල

      අන්න ඒ වගේ..සකු, පාලි සහ සිංහල ගැන වෙනම පෝස්ටුවක් යථා කාලයෙදි දැමෙනු ඇති ;)

      Delete
  4. මෙයා අපේ කෙනෙක්... විරු පියුම්, තරුපියුම්, සුරු පියුම්, නල පියුම්හා සරසවි පියුම් කියන පියුම් රජුගේ අවසාන දරුවා සරසවි බවත්, අය්යා වන තරු පියුම් කතරගම දෙවියන් හෙවත් මහාසෙන් අසුරයා සමඟ යුද්ධ කරපු බවටත් ඉතිහාස පොත් වල දැක්වෙනවා....

    ReplyDelete
    Replies

    1. මම ඒ ගැන අහල නෑ..ඒත් සරස්වතී යන්න සරසවි යන්නෙන් බිඳී ආවක් වීම ම ඒකට හොඳ සාක්කියක්..ෙම් ගැන දැනගන්න පුළුවන් මූලාශ්‍ර මොනව ද කියල කියන්න පුළුවන් ද? මම මේ වගේ දෙවල් ගැන උනන්දු යි...

      Delete
  5. මේක ඇත්තටම ලස්සනයි. දෙවනි කොටසත් ඉක්මනට දැම්මා නම් හරි. ඕන්න මං බලන් ඉන්නවා. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි :)
      විවේකයක් ලැබුණු ගමන් ඊළඟ ෙකාටස ලියන්නම් :)

      Delete
  6. බාසා උසදේශක ලැම්බාචාර්ය තුමාට ඉඩකඩ ඇති වෙලාවට මෙහෙම ප්‍රයෝජනවත් පෝස්ටුවක් කොටනවනම් හොදයි ආ..සකු බස ගැන ටිකක් විස්තර සහිතව පෝස්ටුවක් දැම්මොත් ගොඩක් වටී

    ReplyDelete
    Replies
    1. ඊළඟට දාන්නේ නර්ස් ළමයි ගැනලු

      Delete
    2. බලං ඉඳහංකො දානකං ;)

      Delete
  7. aneee.. man mechcharakal sinduwa ahala tibunata', adhai hariyatama theruma danagaththe. godddddk thanks.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි madhusha sandaruwan කොමෙන්ට් එකට :)

      Delete