2013-09-12

සැඟැවුණු ගිනිදැල්





“මේකට නම්..“ කාර්න් තෘප්තිමත් හඬකින් පැවැසීය, “..තමුසෙ කැමැති වේවි. නිකමට කියවල බලනවකො.“

ඔහු තමා කියවමින් සිටි ලිපි ගොනුව ම වෙතට තල්ලු කරත් දී, ඔහු ගේ, එසේ නො හැකි වුව හොත්, මගේ, ස්ථාන මාරුවක් සඳහා ඉල්ලීමක් කරන්නට මම තව වරක් ඉටා ගතිමි.


“මොකක් ද මේක?“ මම වෙහෙසට පත් හඬකින් ඇසීමි.

“ඒක ආචාර්ය මැතිව්ස් කියල හාදයෙක් විද්‍යා අමාත්‍යවරයා වෙත යවපු දිග වාර්තාවක්.“ ඔහු එය මගේ මුහුණ ඉදිරියේ වනමින් පිළිතුරු දුන්නේ ය. “කියවල බලනව!“

වැඩි උද්‍යෝගයකින් තොර ව මම එය කියවීමට පටන් ගතිමි. මිනිත්තු කිහිපයකට පසු,

“මේ සැරේ නම් තමුසෙ හරි වගේ“ යැයි ඔහු දෙස බලමින් මා පැවැසූයේ, අකැමැත්තෙන් වුව ද මට ඔහු හා එකඟ වන්නට සිදු වූ නිසා ය. ඉන් පසු එය කියවා අවසන් වන තුරු ම මම වදනකුදු කතා නො කළෙමි.


ප්‍රිය ඇමැතිතුමනි (ලිපිය ඇරැඹිණි)

ඔබේ ඉල්ලීමට අනුව, අනපේක්ෂිත හා අසාමාන්‍ය ප්‍රතිඵල ගෙන දුන්, මහාචාර්ය හැන්කොක් ගේ පරීක්ෂණ පිළිබඳ විශේෂ වාර්තාව මෙසේ එවමි. මෙය සකස් කිරීම සඳහා ලැබුණු කෙටි කාලය නිසා මීට වඩා විධිමත් ලෙස වාර්තා කිරීමට නො හැකි හෙයින්, සිද්ධීන් එ ලෙස ම වාර්තා කරන්නෙමි.

විවිධ කරුණු ගණනාවක් පිළිබඳ ව ඔබතුමා ගේ අවධානය යොමු ව තිබූ හෙයින්, මහාචාර්ය හැන්කොක් සහ අප අතර ඇති සබඳතාව සාරාංශ කොට දැක්වීම සුදුසු යැයි මම සිතමි. 1955 වසර වන තුරු ම ඔහු බ්‍රෙන්ඩන් විශ්වවිද්‍යාලයයේ විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ කෙල්වින් ආසනය හෙබවූයේ ය. එම තනතුර නිසා ඔහු ට සිය පරීක්ෂණ කටයුතු වල යෙදීම සඳහා අසීමිත ව නිවාඩු ලැබී තිබිණි. එම කාලයේ දී, කලක් ඉන්ධන හා බලශක්ති අමාත්‍යංශයේ ප්‍රධාන විද්‍යාඥයා ව සිටි ආචාර්ය ක්ලේටන් ඔහු ගේ පරීක්ෂණ සඳහා එක් වූයේ ය. ඔවුන් ගේ හවුල් පරීක්ෂණ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපැයූයේ රාජකීය සංගමයේ පෝල් අරමුදල මගිනි.

නිවැරැදි භූ විද්‍යා මිනුම් ලබාගැනීම සඳහා සෝනාර් තරංග යොදාගැනීමේ ක්‍රමයක් ගොඩනැගීමට මහාචාර්යවරයා බලාපොරොත්තු විය. ඔබ දන්නා අන්දමට ම, සෝනාර් තරංග යනු රේඩාර් තරංග වල ශාබ්දික සමකාරකය වන අතර, අපට හුරු පුරුදු නො වූව ද, එය වසර මිලියන ගණනක් තිස්සේ කෘමීන් සහ බාධක හඳුනාගැනීම සඳහා වවුලුන් විසින් යොදා ගැනුණු පැරැණි ක්‍රමයකි. අධි ශක්ති අතිධ්වනි තරංග පොළොව තුළට යවා, ලැබෙන පරාවර්තිත තරංග මගින් භූගත ද්‍රව්‍යයන් ගේ ගේ සිතියම් ගොඩනැගීමට මහාචාර්යවරයා අදහස් කළේ ය. එම සිතියම්, කැතෝඩ කිරණ නළයක් මගින් දර්ශනය කළ හැකි වනු ඇති අතර, එම පද්ධතිය, වලාකුළු හරහා භූමිය නිරීක්ෂණය කිරීමට ගුවන් යානා විසින් රේඩාර් තරංග යොදාගැනීමේ ක්‍රමයට සම්පූර්ණයෙන් ම සමාන වනු ඇත.

1957 වසරේ දී විද්‍යාඥයින් දෙදෙනා යම් තරමක සාර්ථකත්වයක් ලබාගෙන තිබුණ ද, ඒ වන විට ඔවුන් ගේ අරමුදල් අවසන් ව තිබිණි. 1958 වසර මුල දී මූල්‍ය ප්‍රතිපාදන සඳහා ඔවුහු රජයෙන් ඍජු ඉල්ලීමක් කළහ. පෘථිවි කබොලේ එක්ස් කිරණ සේයාරුවකට සමාන සිතියම් ලබාගත හැකි උපකරණයක ඇති අප්‍රමාණ වැදගත්කම ආචාර්ය ක්ලේටන් පෙන්වා දුන් අතර, ඉල්ලීම අප වෙත යොමු කිරීමට ද මත්තෙන්, ඉන්ධන හා බලශක්ති අමාත්‍යවරයා ඒ සඳහා අනුමැතිය ලබා දුන්නේ ය. ඒ වන විට බර්නල් කමිටු වාර්තාව ප්‍රකාශයට පත් වී තිබූ අතර, ඉදිරි විවේචන වැළැක්වීම සඳහා, යෝග්‍ය ඉල්ලීම්වලට ඉක්මන් තීරණ ගැනීමට අපි දු උත්සුක වීමු. මම ඒ මොහොතේ ම මහාචාර්යවරයා හමුවට ගොස්, අනතුරු ව සතුටුදායක වාර්තාවක් ඉදිරිපත් කළෙන්, මූල්‍ය දීමනාවේ ප්‍රථම ගෙවීම (එස්/543ඒ/68) දින කිහිපයකට පසු ප්‍රදානය කරනු ලැබිණි. එ තැන් සිට මම පරීක්ෂණය සමග අඛණ්ඩ ව සම්බන්ධ වී සිටි අතර, තාක්ෂණික උපදෙස් වලින් ද තරමක දායකත්වයක් ලබා දුනිමි.

පරීක්ෂණය සඳහා යොදා ගත් උපකරණ සංකීර්ණ වූ නමුත්, ඒවාට පාදක වූ මූලධර්ම සරල ඒවා විය. අධි ඝනත්ව කාබනික ද්‍රව තටාකයක අඛණ්ඩ ව භ්‍රමණය වන සම්ප්‍රේෂකයක් මගින්, කෙටි, අධි ශක්ති අතිධ්වනි ස්පන්ද උත්පාදනය කරනු ලැබිණි. නිපදවුණු කදම්බය භූමිය තුළට ගමන් කර, රේඩාර් කදම්බයක් දෝංකාර ග්‍රහණය කරගන්නවාක් මෙන් ක්‍රියා කරයි. ඉතා වේගවත් හා සියුම් වූ කාල මාපක පරිපථයක් මගින්, ඕනෑම ගැඹුරක සිට පැමිණෙන පරාවර්තන තෝරාගෙන, නිරීක්ෂණය කරනු ලබන භූ ස්තරයෙහි සේයා රූ සාමාන්‍ය ආකාරයට කැතෝඩ කිරණ තිරයක් මත ගොඩනැංවිය හැකි ය.

මහාචාර්ය හැන්කොක් මා පළමු වරට මුණගැසෙන විට ඔහු ගේ උපකරණ ඉතා ප්‍රාථමික මට්ටමක පැවැතුණු නමුත්, අඩි සිය ගණනක් ගැඹුරේ තිබූ පාෂාණ වල පිහිටීම මා හට පෙන්වීමට ඔහුට හැකියාව තිබූ අතර, ඔහු ගේ විද්‍යාගාරයට ඉතා ආසන්නයෙන් පිහිටි, බක්ලරූ රේඛාවේ කොටසක් ද අපට ඉතා පැහැදිලි ව දැකිය හැකි විය. මහාචාර්යවරයා ගේ සාර්ථකත්වයට බොහෝ සේ හේතු වූයේ උපකරණය නිපදවූ අතිධ්වනි ස්පන්ද වල අධික තීව්‍රතාව යි. මුල සිට ම, කිලෝ වොට් සිය ගණනක ජවයක් උත්පාදනයට ඔහුට හැකියාව තිබූ අතර, එය සම්පූර්ණයෙන් ම පාහේ පොළොව තුළට සම්ප්‍රේෂණය කරවන ලදී. සම්ප්‍රේෂකය අසල රැඳී සිටීම ආරක්ෂිත නො වූ අතර, ඒ ආසන්නයේ වූ පස සෑහෙන තරම් දුරට උණුසුම් වූ බව ද මම නිරීක්ෂණය කළෙමි. ඒ අවට ප්‍රදේශයේ ගැවැසි විශාල පක්ෂි සංඛ්‍යාව මා පුදුමයට පත් කළ නමුත්, ඔවුන් ගේ පැමිණීමට හේතුව පොළොව මත වැතිරී සිටි සිය ගණන් වූ මිය ගිය පණුවන් බව මම පසු ව සොයා ගතිමි.

1960 වසරේ ආචාර්ය ක්ලේටන් ගේ මරණය සිදු වන විට, උපකරණය මෙගා වොට් එකකට ත් අධික ක්ෂමතාවකින් ක්‍රියා කරමින් තිබූ අතර, සැතැපුමක් පමණ ගැඹුරේ වූ භූ ස්තර වල පැහැදිලි සේයා රූ ලබාගැනීමට හැකි විය. ආචාර්ය ක්ලේටන්, ලැබුණු ප්‍රතිඵල දන්නා භූ විද්‍යාත්මක මිනුම් සමග සසඳනු ලැබ තිබූ අතර, ලැබුණු ප්‍රතිඵල වල වටිනාකම සැකයකින් තොර ව ඔප්පු කිරීමට ඔහු සමත් ව තිබිණි.

මෝටර් රථ අනතුරකින් ආචාර්ය ක්ලේටන් මියයාම බරපතළ ඛේදවාචකයක් විය. සිය කාර්යයේ ප්‍රායෝගික යෙදවුම් පිළිබඳ ව වැඩි අවධානයක් නො දැක්වූ මහාචාර්යවරයා මත ස්ථාවර බලපෑමක් ඇති කළේ ඔහු යි. ඉන් පසු කෙටි කලෙක දී ඒ පිළිබඳ ව මහාචාර්යවරයා ගේ දැක්මෙහි පැහැදිලි වෙනසක් මා නිරීක්ෂණය කළ අතර, මාස කිහිපයකට පසු සිය අභිප්‍රායයන් පිළිබඳ ව ඔහු මට රහසින් දැන්වූයේ ය. පරීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සඳහා ඔහු එකඟ කරවා ගැනීමට මම උත්සාහ කරමින් සිටි අතර ( ඒ වන විට ත් ඔහු පවුම් 50,000 කට ත් වඩා වියදම් කර තිබූ හෙයින්, විගණන කමිටුවෙන් නැවැත බාධා ඇති වෙමින් තිබිණි.) තමාට තවත් සුළු කාලයක් ලබා දෙන මෙන් ඔහු ඉල්ලා සිටියේ ය. මට තවම ත් පැහැදිලි ව මතක ඇති, අසාමාන්‍ය බරපතළ බවකින් යුතු ව ඔහු පැවැසූ වදන් වලින් ම, ඔහු ගේ ආකල්ප පැහැදිලි කරනු හැකි වේ යැයි මම සිතමි.

“ඔබ කවදා හරි හිතල තියෙනව ද?...“ ඔහු පැවැසීය, “..පෘථිවියේ අභ්‍යන්තරය මොන වගේ ද කියා? අපේ ළිං සහ පතල් මගින් අපි එහි මතුපිට යන්තමින් පමණක් සූරා තිබෙනවා. ඊට යටින් ඇත්තේ හඳේ අනෙක් පැත්ත මෙන් නො දන්නා ප්‍රදේශයක්.“

“අපි දන්නවා පෘථිවිය අස්වාභාවික ලෙස ඝනත්වයෙන් වැඩි බව, එහි කබොලේ තිබෙන ගල් සහ පස් වල ඝනත්වයට ත් වඩා ඉතා ම වැඩියෙන්. එහි හරය ඝන ලෝහමය එකක් විය හැකි යි. නමුත් මේ වන තෙක් එය දැනගන්නට කිසි ම ක්‍රමයක් තිබුණේ නැහැ. සැතැපුම් දහයක් ගැඹුරේ දී පවා පීඩනය වර්ග අඟලට ටොන් තිහක් හෝ ඊට වැඩි අගයකුත්, උෂ්ණත්වය අංශක සිය ගණනකුත් වෙන්නට ඕනෑ. එහෙම සිතූ විට පෘථිවි මධ්‍යය මොන වගේ විය යුතු ද: පීඩනය වර්ග අඟලට ටොන් දහස් ගණනක්. තවත් වසර දෙකකින් හෝ තුනකින් අපට හඳ වෙත යාමට හැකි වේවි, එහෙත් අපි තාරකා වෙත ළඟා වන විට, අපේ දෙ පතුලට සැතැපුම් හාරදහසක් යටින් ඇති ඒ පාතාලයට යන්තමින් වත් ළං වන්නට නො හැකි වේ යැයි සිතීමත් අද්භූත යි.“

“දැන් මට සැතැපුම් දෙකක් ගැඹුරේ සිට එන පරාවර්තන හඳුනාගන්නට පුළුවන්, නමුත් මම බලාපොරොත්තු වෙන්නෙ තවත් මාස කිහිපයක දී සම්ප්‍රේෂකය මෙගා වොට් දහයක් දක්වා වැඩි දියුණු කරන්න. ඒ ක්ෂමතාවෙන් පරාසය සැතැපුම් දහයක් දක්වා ඉහළ නගී යැයි මා විශ්වාස කළත්, එ තැනින් නවතින්න නම් මට අදහසක් නෑ.“

මම ද උද්‍යෝගයට පත් වුව ත්, ඒ සමග ම මගේ සිතට අවිනිශ්චිත බවක් දැනුණි.

“ඒ හැමදේ ම හරි“ මම කීවෙමි, “ඒත් අනිවාර්යයෙන් ම ගැඹුරට යන තරමට දකින්නට තිබෙන දේවල් නම් අඩු වේවි. පීඩනය නිසා කුහර පැවැතීමට ඉඩකුත් ඇත්තෙ නෑ. සැතැපුම් කිහිපයකට පසු තියෙන්නට හැකි වෙන්නෙ ක්‍රමයෙන් ඝනත්වය වැඩි වෙමින් යන සමජාතීය ස්කන්ධයක් විතර යි.“

“එය ත් වෙන්නට පුළුවනි,“ මහාචාර්යවරයා එකඟ විය, “ඒ වුණ ත් මට ඉන් සම්ප්‍රේෂණ ගුණාංග ගැන බොහෝ දේ ඉගෙන ගන්නට හැකි වේවි. කොහොම වෙත ත් අපි එ තැනට ළඟා වුණා ම බලමු!“

ඒ සිව් මසකට පෙර ය. ඊයේ, මම එම පරීක්ෂණයේ ප්‍රතිඵල දුටුවෙමි. මම ඔහු ගේ ඇරැයුම පිළිගන්නා විට මහාචාර්යවරයා සිටියේ මහත් උද්‍යෝගයකින් වූ නමුත්, - ඔහු යමක් අනාවරණය කරගත්තා නම් - ඒ පිළිබඳ ව ඉඟියක් හෝ මට ඔහුගෙන් නො ලැබිණි. සිය වැඩි දියුණු කරන ලද උපකරණ මට පෙන්වූ ඔහු, නව ආදායකය එය ගිල්වා තිබූ තටාකයෙන් පිටතට ගත්තේ ය. එහි ග්‍රාහකයන් ගේ සංවේදීතාව අතිශයින් ඉහළ නංවා තිබූ අතර, එ මගින් පමණක් උපකරණයේ පරාසය ඵලදායී ලෙස දෙ ගුණ කරනු ලැබ තිබිණි.  ඒ, ඉහළ නංවා තිබුණු සම්ප්‍රේෂණ ශක්තිය මගින් වැඩි කෙරුණු ප්‍රමාණයට අමතරව යි. වානේ වලින් තැනුණු එම ව්‍යුහය සෙමින් භ්‍රමණය වනු දකිමින්, මිනිසාට කෙතරම් ආසන්න වුව ද, කිසි දිනෙක ඔහුට ළඟා විය නො හැකි ප්‍රදේශ එ මගින් අධ්‍යයනය කෙරෙන බව සිතීම මා තුළ අද්භූත හැඟීමක් ඇති කළේ ය.

දර්ශන උපකරණ අඩංගු කූඩාරම තුළට අප ඇතුළු වන විට මහාචාර්යවරයා අසාමාන්‍ය නිහඬ බවක ගිලී සිටියේ ය. ඔහු සම්ප්‍රේෂකය පණ ගැන්වූ අතර, ඊට යාර සියයක් පමණ ඈතින් සිටිය ද මට අපහසු දායක හිරිවැටීමක් දැනුණි. අනතුරු ව කැතෝඩ කිරණ නළය ආලෝකමත් වී, සෙමෙන් භ්‍රමණය වන මුහුර්තක රේඛාව, මා ඊට පෙර වාර ගණනාවක් දැක තිබූ භූ සිතියම තිරය මත සටහන් කළේ ය. කෙසේ වෙත ත්, උපකරණයේ ඉහළ නැංවූ ජවය හා සංවේදීතාව නිසා රූපයේ විභේදනය බොහෝ සේ වැඩිදියුණු වී තිබිණි. ගැඹුර ප්‍රමාණ පාලකය සීරු මාරු කළ මම, මඳ වශයෙන් දිලිසුම් දෙන තිරය හරහා පැහැදිලි අඳුරු පටියක් මෙන් දිස් වුණු ස්තරය වෙත උපකරණය නාභි ගත කළෙමි. මා එය නරඹමින් සිටින අතර, දර්ශනය එක්වර ම මීදුමින් පිරී ගියාක් මෙන් පෙනෙන්නට විය. ඒ දුම්රියක් ගමන් කිරීම නිසා බැව් මම දැන සිටියෙමි.

මම අඛණ්ඩ ව පහළට බසින්නට වීමි. මා මෙම දසුන ඊට පෙර වාර ගණනාවක් දැක තිබුණ ද, විශාල දිලිසෙන ස්කන්ධයන් මා වෙත පාවී එනු දැකීම සෑම විට ම ම සිතෙහි අද්භූත හැඟීමක් ජනිත කළේ ය. ඒවා භූගත පාෂාණ බව මම දනිමි, ඇතැම් විට ඒවා වසර පණස් දහසක් පැරැණි ග්ලැසියරයන් ගේ අවශේෂ ද විය හැකි ය. ආචාර්ය ක්ලේටන් විසින් සකස් කර තිබූ සටහන් නිසා, පසු වෙමින් යන විවිධාකාර භූ තල අපට හඳුනාගත හැකි වූ අතර, එම අවස්ථාවේ මම දියළු පස් ස්තරය හරහා නගරයේ ආටීසියානු ජලය රඳවාගෙන සිටි මැටි ස්තරය තුළට ඇතුළු වෙමින් සිටියෙමි. ඉක්මනින් ම එය ද පසු කර, මම මතුපිට ට සැතැපුමක් පමණ ගැඹුරින් පිහිටි මූලාධාර පාෂාණය හරහා ගමන් කරන්නට වීමි.

ඒ වන විට පොළෝ ව්‍යුහයේ පැවැතියේ සුළු වෙනස් වීම් පමණක් හෙයින් දකින්නට එ තරම් දේ නො වූ නමුත්, ලැබෙන දර්ශන තවමත් පැහැදිලි හා දීප්තිමත් ඒවා විය. පීඩනය වායුගෝල දහස් ගණනක් දක්වා ඉහළ නගිමින් තිබිණි. ඉක්මනින් ම පාෂාණය ද්‍රව බවට පත් වී, කුහරයන් පැවැතීමට ඇති ඉඩකඩ ද ඇහිරී යනු ඇත. මම සැතැපුමෙන් සැතැපුම පහළ බැසි අතර, දැකිය හැකි එක ම දෙය වූ නො පැහැදිලි මීදුමක් වැනි දසුන, කුහර හෝ ඝනත්වයෙන් වැඩි ස්කන්ධයන් මගින් ඇති කළ පරාවර්තනයන් විසින් විටින් විට බිඳිනු ලැබිණි. ගැඹුරට යත් යත් ම ඒවා ද ගණනින් අඩු වීම නිසා හෝ, නො දැකිය හැකි තරමට ප්‍රමාණයෙන් කුඩා වීම නිසා හෝ කෙමෙන් නො පෙනී ගියේ ය.

පින්තූරයේ පරිමාණය ද අඛණ්ඩ ව ඉහළ නගිමින් තිබිණි. එය දිගින් හා පළලින් සැතැපුම් කිහිපයක් වූ අතර, මා තුළ එය දැකීමෙන් ඇති වූයේ අධික උසක සිට අඛණ්ඩ වලාකුළු ස්තරයක් දෙස බලා සිටින ගුවන් නැවියෙකුට සමාන හැඟීමකි. මා නෙත් යොමා සිටින පාතාලය පිළිබඳ ව සිහි වීමෙන් මොහොතකට මගේ හිසෙ හි කරකැවිලි ගතියක් ඇති විය. මින් පසු මට පෘථිවිය එ තරම් ඝන වස්තුවක් ලෙස හැඟෙනු ඇතැ යි මම නො සිතමි.

සැතැපුම් දහයකට ආසන්න ගැඹුරක දී නතර වූ මම මහාචාර්යවරයා දෙස දෙනෙත් යොමු කළෙමි. මඳ වේලාවක සිට දක්නට ලැබුණු දර්ශනයේ කිසිදු වෙනස්කමක් නො වූ අතර, පාෂාණය මේ වන විට උප ලක්ෂණ රහිත සමජාතීය ස්කන්ධයක් බවට පත් ව තිබිය යුතු බව මම දැන සිටියෙමි. මනැසින් ඉක්මන් ගණනයක් කළ මම, ඒ වන විට පීඩනය වර්ග අඟලට ටොන් තිහක් පමණ විය යුතු බව වැටහීමෙන් සලිත ව ගියෙමි. කෙමෙන් දුබල වන පරාවර්තනයන්ට ගැඹුරේ සිට පැමිණීමට තත්පර ගණනාවක් ගත වූ නිසා, පරිලෝකන උපකරණය දැන් භ්‍රමණය වූයේ ඉතා ම සෙමිනි.

“බොහොම හොඳ යි මහාචාර්යතුමා..“ මම කීවෙමි “..මගේ සුබ පැතුම් පිළිගන්න. මේක පුදුම සහගත සොයාගැනීමක්. නමුත් පේන හැටියට අපි පෘථිවි හරයට ළඟා වෙලා. මෙතැන් සිට කේන්ද්‍රයට යන තුරු වෙනසක් තියේවි යැයි මම නම් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.“

ඔහු නො කැමැත්තෙන් මෙන් සිනාසුණේ ය. “ දිගට ම යන්න. ඔබ තවම අවසන් කළේ නෑ.“

මා වික්ෂිප්ත කළ යමක් ඔහු ගේ හඬෙ හි අඩංගු විය. කැතෝඩ කිරණ නළයෙ හි නිල් - කොළ පැහැ මඳ දිලිසුමෙන් යන්තමින් දැකිය හැකි වූ ඔහු ගේ රුව දෙස මම මොහොතක් තදින් බලා සිටියෙමි.

“මේකට කොයි තරම් දුරට යන්න පුළුවනි ද?“ අවසානයක් නොමැති සේ පෙනුණු පහළ බැසීම යළිදු අරඹමින් මම ඇසීමි.

“සැතැපුම් පහළොවයි.“ ඔහු කෙටියෙන් පිළිතුරු දුන්නේ ය.

මා අවසන් වරට හඳුනා ගත හැකි වෙනස්කමක් දුටුවේ සැතැපුම් අටක පමණ ගැඹුරේ දී ය. එසේ නම්, උපකරණයට සැතැපුම් පහළොවක් දක්වා යා හැකි යැයි ඔහු දැනගත්තේ කෙසේ ද‍? මම පුදුමයට පත් වූ නමුත් නො නැවතී පාෂාණය හරහා පහළ බැස්සෙමි. උපකරණයේ භ්‍රමණ වේගය තව තවත් අඩු වූ අතර, මේ වන විට එක් භ්‍රමණයක් සම්පූර්ණ කිරීමට ඊට මිනිත්තු පහකට ආසන්න කාලයක් ගත විය. මා පසුපසින් සිටි මහාචාර්යවරයා තදින් හුස්ම හෙළමින් සිටියේ ය. වරක් ඔහු ගේ ඇඟිලි වල දැඩි ග්‍රහණයට හසු වූ මාගේ පුටුවෙහි ඇන්ද කිරි කිරි හඬ නැගීය.

ඉන් පසු එක්වර ම, නො පැහැදිලි ඡායාවන් රැසක් තිරය මත දිස් වීමට පටන් ගත්තේ ය. පෘථිවියේ අයෝමය හරයෙ හි ප්‍රථම දසුන් මේවා විය හැකි යැයි සිතූ මම නො ඉවසිල්ලෙන් ඉදිරියට බර වීමි. වේදනාත්මක මන්දගාමී බවකින් යුතු ව භ්‍රමණය වූ මුහුර්තකය ඍජුකෝණී ඡායාවක් තිරය මත සටහන් කළේ ය. ඊළඟට තවෙකක් ද, අනතුරු ව තවෙකක් ද ආදී වශයෙන්...

“දෙවියනි!“ යැයි මුරගාමින් පුටුවෙන් ඉවතට විසි වූ මම මහාචාර්යවරයා දෙසට නෙත් යොමු කළෙමි. ඊට පෙර මා එ තරම් බුද්ධිමය කම්පනයකට ලක් ව තිබුණේ ජීවිතයේ එක ම එක් වරකි - වසර පහළොවකට පෙර මම නිකමට මෙන් ගුවන්විදුලිය පණ ගැන්වූ විටෙක, පළමු පරමාණු බෝම්බය හෙළීමේ පුවත ඇසුණු අවස්ථාවේ පමණි. එය ද අනපේක්ෂිත සිද්ධියක් මිස, මෙ වන් නො සිතිය හැකි තරමේ පුදුම සහගත එකක් නො වීය. තිරය මත දිස් වූයේ එකිනෙක ඡේදනය කරමින් සමමිතික දැලිසක් නිර්මාණය කරන නො පැහැදිලි රේඛා ජාලකයකි.

මා පුදුමයෙන් ගල් ගැසී බලා සිටින අතර පරිලෝකකය පූර්ණ භ්‍රමණයක් සම්පූර්ණ කළෙන්, මා මිනිත්තු ගණනාවක් කිසිවක් නො පවසා බලා සිටි බව මම දැනගතිමි. මෙ විට මහාචාර්යවරයා, මෘදු, අසාමාන්‍ය ලෙස තැන්පත් හඬකින් මා ඇමැතීය,

“මා යමක් කීමට පෙර එය ඔබට ම දැකගැනීමට ඉඩ හරින්න මට අවශ්‍ය වුණා. දැන් අර පින්තූරයේ විශ්කම්භය සැතැපුම් තිහක්, අර චතුරස්‍රයක පැත්තක දිග සැතැපුම් දෙකක් හෝ තුනක් පමණ. ඔබට පේනවා ඇති එහි සිරස් රේඛා අභිසාරී වන බව ත්, තිරස් රේඛා චාපයන් මෙන් නැමී යන බව ත්. අපි බලා සිටින්නේ ඒක කේන්ද්‍රීය වළලු ගණනාවකින් තැනුණු අති විශාල ව්‍යුහයක් දෙස යි. එහි කේන්ද්‍රය සැතැපුම් ගණනාවක් උතුරට වන්නට පිහිටා ඇති, බොහෝ දුරට කේම්බ්‍රිජ් ප්‍රදේශය තුළ. අනෙක් පැත්තෙන් එය කොයි තරම් දුරට විහිදෙනවා ද යන්න ගැන අපට පැවැසිය හැක්කේ අනුමානයෙන් පමණ යි.

“ඒත් දෙවියන් ගෙ නාමෙන්, කියන්න ඒ මොකක්ද?“

“හොඳ යි, එය පැහැදිලිව ම කෘතිම නිර්මාණයක්...“

“ඒක විකාර කතාවක්! සැතැපුම් පහළොවක් යට?!“

මහාචාර්යවරයා තිරය දෙසට ඇඟිල්ල දිගු කළේ ය.

“දෙවියන් දන්නවා මා උපරිමයෙන් ම උත්සාහ කළ බව. එහෙත් මට කොහොමට වත් සිතන්නට බැහැ ස්වභාවධර්මයා ට මෙ වැනි දෙයක් කළ හැකියි කියා.“

මට කීමට යමක් නො තිබිණි. මහාචාර්යවරයා දිගට ම කතා කළේ ය:

“මා එය සොයාගත්තේ දින තුනකට පෙර උපකරණයේ උපරිම පරාසය සෙවීමට උත්සාහ කරන විට යි. මට මීට වඩා ගැඹුරට යා හැකි විය යුතු යි. නමුත් මම හිතන්නේ අපට මේ පෙනෙන ව්‍යුහයේ අධික ඝනත්වය නිසා එය තවදුරටත් මගේ ස්පන්ද සම්ප්‍රේෂණය නො කරන බව යි.“

“මම සිද්ධාන්ත දුසිම් ගණනක් ගොඩනගන්නට ඇති, නමුත් අවසානයේ මා නවතින්නේ එක ම තැනක යි. අපි දන්න ආකාරයට, මෙ තරම් ගැඹුරක දී පීඩනය  වායුගෝල අට දහසක් හෝ නව දහසක් පමණ ත්, උෂ්ණත්වය පාෂාණ ද්‍රව කළ හැකි මට්ටමක ත් පැවැතිය යුතු යි. නමුත් සාමාන්‍ය පදාර්ථය කියන්නෙ වැඩි ප්‍රතිශතයක් හිස් අවකාශයෙන් යුතු එකක්. සිතන්න එහි ජීවයක් ඇතැයි කියා - ඇත්තෙන් ම, කොහොමට වත් කාබනික ජීවයක් නො වෙයි, ඉලෙක්ට්‍රෝන කාක්ෂික කිහිපයකින් යුතු හෝ ඇත්තේ ම නැති පදාර්ථයන් මත පදනම් වූ ජීවයක් - මම කියන දේ තේරෙනව ද? එ වැනි ජීවීන්ට සැතැපුම් පහළොවක් ගැඹුරේ ඇති පාෂාණ මගින් ඇති කරන ප්‍රතිරෝධය, අපට ජලයෙන් ඇති කරන ප්‍රතිරෝධය තරම් වේවි. අපි සහ අපේ මුළු ලෝකය ම ඔවුන්ට භූතයන් මෙන් වනු ඇති“

“ඔබ කියන්නේ අපි මේ දකින දේ...“

“ නගරයක්, හෝ, ඊට සම කළ හැක්කක්. ඔබ එහි ප්‍රමාණය දුටුවා. ඉතින් එය ගොඩනැගූ ශිෂ්ටාචාරය ගැන ඔබට ම සිතාගත හැකි යි. අපි දන්නා මුළු ලෝකය ම - අපේ සාගර, මහද්වීප සහ කඳු ශිඛර - අපේ අවබෝධය ඉක්මවා ගිය දෙයක් වටා ඇති මීදුම් පටලයකට වැඩි දෙයක් නො වෙයි.

මඳ වේලාවක් යන තුරු අප එකෙකු වත් කිසිවක් පැවැසූයේ නැත. භයජනක සත්‍යය දැනගත් මුල් ම මිනිසුන් අතරින් එකෙකු වීම පිළිබඳ ව බොළඳ විස්මයක් ම සිතෙහි ඇති වූ බව මට මතක ය. කුමන හෝ හේතුවක් නිසා එහි සත්‍යතාව පිළිබඳ ව මම සැක නො කළෙමි. මෙය හෙළි වූ විට මිනිස් සංහතිය කෙලෙසකින් ප්‍රතිචාර දක්වයි ද යන්න ගැන මම විමතියෙන් යුතු ව සිතීමි.

නිහඬතාව බිඳ දමමින් මම මෙසේ ඇසීමි,

“ඔබ නිවැරැදි නම් - ඔවුන් කවුරුන් වුව ත් - අපට ඔවුන් කිසි දා මුණ නො ගැසුණේ ඇයි?“

මහාචාර්යවරයා මා වෙත අනුකම්පා සහගත බැල්මක් හෙළී ය.

“අපි සිතා සිටිනවා අප හොඳ ඉංජිනේරුවන් ය කියා. නමුත් අපට ඔවුන් වෙතට යන්නට පුළුවන් ද? කොහොම වෙත ත් මුණ නො ගැසුණා යන්න ගැන මගේ එ තරම් විශ්වාසයක් නෑ. හිතන්න පොළොව යට ජීවත් වන සතුන් ගැන කියවෙන මිථ්‍යා කතා ගැන, අඟුටුමිට්ටන් ආදී...නෑ, ඒක වෙන්න බැරි දෙයක්. මම ඒ අදහස ඉල්ලා අස්කරගන්නවා. තවමත් මෙය නිකම් ම අදහසක් පමණ යි.“

මේ මුළු කාලය තුළ ම තිරය මත දක්නට තිබූ රටාව නො වෙනස් ව පැවැතිණි. අප ගේ ප්‍රකෘති සිහිය ට අභියෝග කරමින් මඳ අඳුරු පැහැ ජාලය තවමත් දිලිසුම් දුන්නේ ය. එහි තිබිය හැකි මං මාවත් සහ ගොඩනැගිලි ද, ඒවා අතර ගමන් කරමින් සිටින සත්ත්වයන් ද සිතේ මවාගැනීමට මම උත්සාහ කළෙමි. මත්ස්‍යයෙකු ජලයේ පිහිනා යනවාක් මෙන්, තාප දීප්ත පාෂාණය හරහා ගමන් කළ හැකි ජීවීන්, කෙතරම් විශ්මයජනක ද...මිනිස් වර්ගයා ගේ පැවැත්ම රඳා පවතින අතිශය පටු උෂ්ණත්ව හා පීඩන පරාසය පිළිබඳ ව මට සිහි විය. විශ්වයේ ඇති බොහෝ පදාර්ථයන් පවතින්නේ අංශක දහස් ගණන්, නැති නම් මිලියන ගණන් වන උෂ්ණත්වයන් යටතේ හෙයින්, විකෘතිය වන්නේ අපි ම මිස ඔවුහු නො වෙති.

“බොහොම හොඳ යි..“ මම බිඳුණු හඬකින් කීවෙමි, “මොකක්ද අපි දැන් කරන්න යන්නෙ?“

මහාචාර්යවරයා උද්‍යෝගයෙන් ඉදිරියට බර විය.

“පළමුවෙන් ම අපි මේ පිළිබඳ ව හැකි තරම් දේ දැනගත යුතුයි, ඒ වගේ ම, සාධක වල විශ්වසනීයත්වය තහවුරු වන තෙක් මෙය අතිශය රහසිගත ලෙස තබාගත යුතු යි. මේ තොරතුරු පිට වුනොත් ඇති වන භීතිකාව ගැන ඔබට හිතාගන්නට පුළුවන් ද? ඇත්තෙන්ම ඉක්මනින් ම හෝ පසු ව සත්‍ය හෙළි වීම වළක්වන්නට බැහැ, නමුත් අපට හැකි වේවි එය ක්‍රම ක්‍රමයෙන් හෙළි කරන්නට.“

“මගේ කටයුත්තේ භූ විද්‍යාත්මක මිනුම් අංශය දැන් ඉතා ම නො වැදගත් එකක් බව ඔබට පෙනේවි. අපි මුලින් ම කළ යුත්තේ මෙම ව්‍යුහයේ ප්‍රමාණය දැනගැනීම සඳහා සම්ප්‍රේෂක ස්ථාන මාලාවක් පිහිටුවීම යි. මා සිතන හැටියට සැතැපුම් දහයකට එකක් බැගින් උතුර දෙසට, නමුත් මම කැමැති යි පළමුවැන්න දකුණු ලන්ඩනයේ ස්ථාපනය කරන්න - මෙය කෙතරම් දුරට විහිදෙනවා දැයි බලන්නට. නමුත් මුළු වැඩසටහන ම, තිස් ගණන්වල අවසන් භාගයේ දී මුල් ම රේඩාර් සම්ප්‍රේෂක දාමය ගොඩනැගූ අයුරින් ම, රහසිගත විය යුතු යි.“

“ඒ සමග ම මගේ අදහස මගේ සම්ප්‍රේෂකයේ ක්ෂමතාව තවත් ඉහළ නංවන්නට යි. මා විශ්වාස කරන්නේ නිපදවන කදම්බය තවත් පටු කළොත් ශක්ති සාන්ද්‍රණය බොහෝ සේ ඉහළ යාවි කියා යි. නමුත් ඊට සෑම ආකාරයේ ම යාන්ත්‍රික බාධාවන් ඇති නිසා මට තව තවත් සහය අවශ්‍ය වේවි.“

තවත් උපකාර ලබාගැනීම සඳහා මාගේ සම්පූර්ණ උත්සාහය යෙදවීමට මම පොරොන්දු වීමි. හැකි ඉක්මනින් ඔබතුමාට ම විද්‍යාගාරයට පැමිණිය හැකි වේ යැයි මහාචාර්යවරයා බලාපොරොත්තු වෙයි. මුල් රූපය තරම් පැහැදිලි නො වූව ද, මේ සමග මා විසින් අමුණා එවනු ලබන ඡායාරූපය, අපේ නිරීක්ෂණයන් හි නිරවද්‍යභාවය ඔප්පු කිරීමට සමත් වෙතැ යි මම විශ්වාස කරමි.

අන්තර් ග්‍රහලෝක සංගමය වෙනුවෙන් යොදවන ලද මුදල් සම්භාරය නිසා මේ වසරේ අප ගේ ප්‍රතිපාදන, ඇස්තමේන්තු ගත සීමාවට ආසන්න වී ඇති බව මම හොඳින් දනිමි. නමුත්, ලෝකයේ පවතින චින්තනයන්ට සහ මිනිස් වර්ගයා ගේ අනාගතයට දරුණුතම බලපෑමක් ඇති කළ හැකි මේ සොයාගැනීම පිළිබඳ ව ඉක්මන් පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාව හමුවේ අභ්‍යවකාශ තරණය පවා අඩු වැදගත්කමකින් යුතු වනු ඇත.


පුටුවේ පසුපසට බර වූ මම කාර්න් දෙස බැලුවෙමි. එම ලේඛනයේ මට නො වැටහුණු කරුණු ගණනාවක් තිබුණ ද, ප්‍රධාන අදහස මට පැහැදිලි ව වටහාගත හැකි විය.

“ඔව්,“ මම කීවෙමි “මේ ඒක තම යි! අර කිව්ව ඡායාරූපය කොහේද?“

ඔහු එය ම වෙත දිගු කළේ ය. අප වෙත පැමිණීමට පෙර වාර ගණනාවක් පිටපත් කිරීමට ලක් ව තිබූ හෙයින් දෝ එය  තත්ත්වයෙන් බාල විය. නමුත් එහි වූ රටාව නො වැරැදිය හැකි ලෙස මම එක්වර ම හඳුනාගතිමි.

“ඔවුන් දක්ෂ විද්‍යාඥයින්..“ මම අගය කිරීමකින් යුතු ව කීමි, “..ඒ අනුමානයක් නැතිව ම කැලැස්තියෝන් තම යි. අපි අන්තිමට සත්‍යය සොයාගත්තා, අවුරුදු තුන්සීයකට පසු ව වුණ ත්.“

“අපට පරිවර්තනය කරන්නට වුණු ලේඛන කන්ද ගැන යි, ඒවා වාෂ්ප වෙලා යන්නට කළින් පිටපත් කරන්නට තිබුණු අපහසුව ගැන යි හිතනකොට පුදුම හිතෙන්නෙ නැති ද?“ කාර්න් ඇසීය.

අප පිරික්සමින් සිටි නෂ්ටාවශේෂයන් ගේ අයිතිකරුවන් වූ ඒ අද්භූත සත්ත්ව කොට්ඨාශය ගැන කල්පනා කරමින් මම මඳක් නිහඬ ව හිඳ සිටියෙමි. අපේ ඉංජිනේරුවන් විසින් නිමැවුණු, සෙවණැලි ලෝකය දක්වා ගමන් කරන දැවැන්ත විවරය ඔස්සේ මම එක් වරක් ඉහළ නැග ඇත්තෙමි - යළි එහි යාමේ අදහසක් ද මට නැත. එය අමතක නො වන තරම් භයානක අත්දැකීමකි. ස්තර ගණනාවකින් යුතු වූ මගේ පීඩන ඇඳුම සෙලවීම පවා දුෂ්කර කළ අතර, එහා පරිවරණය හරහා වුව ද, මා වට කොට පැවැති අස්වාභාවික ශීතල මට දැනෙන්නට විය.

“මොනතරම් අවාසනාවක් ද?..“ මම මිමිණුවෙමි, “අපේ පැමිණීම නිසා ඔවුන් සම්පූර්ණයෙන් ම විනාශ වූ එක. ඔවුන් දක්ෂ සත්ත්ව කොට්ඨාශයක්, අපට ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙනගන්නට තිබුණා.“

“මම හිතන්නෙ ඒක අපේ වැරැද්දක් නො වෙයි,“ කාර්න් පැවැසීය. “රික්තයකට ඉතා ම ළඟ, උෂ්ණත්වය බොහෝ දුරට නිරපේක්ෂ ශුන්‍යයට ආසන්න මේ වගේ භයානක තත්ත්වයත් යටතේ කිසිම දෙයකට පැවැතිය හැකි යැයි අපි කොහොමට වත් විශ්වාස කළේ නැහැ, එහෙම කරන්න කිසි ම හැකියාවක් තිබුණෙ නැහැ.“

මම ඊට එකඟ නොවීමි.

“මම හිතන්නෙ ඔවුන් අපට වඩා බුද්ධිමත් කොට්ඨාශයක් කියල ඒකෙන් ඔප්පු වෙනව. මොනව වුණත් ඔවුනු යි අප මුලින් සොයාගත්තෙ. ඔහු නිරීක්ෂණය කළ, සෙවණැලි ලෝකයෙන් ආ ඒ විකිරණය කෘතිම එකක් විය යුතු බව කිව්ව ම හැමෝ ම මගෙ සීයට හිනා වුණා.“

කාර්න් සිය ස්පර්ශකයන්ගෙන් එකක් සටහන හරහා ගෙන ගියේ ය.

“ඒ විකිරණයට හේතුව අපි නිසැකව ම හොයාගෙන තියෙනව.“ ඔහු පැවැසීය. “දිනය බලනව, තමුසෙගෙ සීයගෙ සොයාගැනීමට අවුරුද්දකට විතර කළින් දිනයක්. මහාචාර්යවරයට තමන්ගෙ පරීක්ෂණයට අවශ්‍ය මුදල ලැබුණු හැඩ යි!“

ඔහු සිත් නො ගන්නා අයුරින් සිනාසුණේ ය. “හරියට ම ඔහු ගෙ දෙපා යටින් අපි මතුපිටට එනව දකිනකොට ඔහු බොහොම කම්පනයට පත්වෙන්ට ඇති.“

අපහසුදායක හැඟීමක් මා වෙළා ගත් හෙයින් ඔහු ගේ වදන් මට ඇසුණේ යන්තමිනි. මම, අතිවිශාල කැලැස්තියෝන් නගරයට යටින්, පෘථිවියේ නො දන්නා හරය දක්වා, කෙමෙන් ඝන වෙමින් - උණුසුම් වෙමින් පැතිරෙන, සැතැපුම් දහස් ගණනක් වූ පාෂාණය පිළිබඳ ව සිතුවෙමි. මම කාර්න් දෙස බැලීමි.

“ඒක ඒ තරම් විහිළුවක් නෙවෙයි,“ මම අවධාරණයෙන් යුතු ව පැවසීමි.


“ඊළඟට අපේ වාරය වෙන්නත් පුළුවන්.“
*****

ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාගේ කෙටිකතාවකි

© Chämika Ratnäyake - 2013

13 comments:

  1. මේ දාන විදිය එල. මම තව පොඩ්ඩෙන් උඩින් පල්ලෙන් කියවගෙන යනවා කලින් කියවපු හින්ද. එකේ නැති කොටසක් මේකේ තියනවා නොවැ. සුපිරි පරිවර්තනයක්.

    ReplyDelete
    Replies
    1. ලාස්ට්රෝ එකේ කොටස් දෙකකට දැම්මෙ දිග වැඩි නිසා..ස්තුතියි උතුස්සො:)

      Delete
  2. අහ්හ් පරිවර්තනයක් කියලා තේරෙන්නේවත් නැතිවෙන්න ලියලා තියෙන්නේ . එල එල .

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තුතියි වයලීනො..

      Delete
  3. විදුසර පත්තරේ කියෙව්වා වගේ. ලස්සනයි.........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බුද්ධි :)

      Delete
  4. යුල්ස් වර්න්ගේ සින්හලාවතාරයද?

    ReplyDelete
    Replies
    1. ඒක ටිකක් ටියුබ් ලයිට් වගේය

      Delete
    2. යකෝ යුල්ස් වර්න් ව අහලා නැද්ද?

      Delete
    3. නැත නැත අයියන්ඩි..සිංහලාවතාර කෑල්ල ?_?

      Delete
    4. ලංකාවේ යුල්ස් වර්න් කියලයි කිව්වේ...

      Delete