2013-07-16

හඳුංකූරු




කුස්සි කෑල්ලෙ ජනේලෙං තමං දිහා ඔරවගෙන බලා ඉන්න ආකාසෙ දිහා බැලුව කුසුමාවතී ආයෙ සැරයක් හීල්ලුව.

“මේ වැහිකලුව තව කී දවසක් අල්ලල හිටීද දන්නෙ නෑ.. දවස් කීයකිං හඳුංකූරු ටිකක් ඔතාගන්ට බැරි උනාද.. ඔතල වේලෙන්ට කියල දැම්මම තිබ්බට වැඩියෙං තෙත අල්ලනව...“

ඇය එහෙම කිවුවෙ හිස් ආකාසෙට යි කියල අහගෙන හිටිය කෙනෙකුට හිතේවි. ඒ එළිපත්තෙ පුටුවකට වෙලා හිස් බැල්මෙං හිටපු කරුණෙගෙං හුම් සද්දයක්වත් නො නැගුණු නිසා වෙන්ට ඇති. කොහොමත් මාස හත අටකට කළියෙං සිද්ද වෙච්චි ඒ ආන්තරාවෙං පස්සෙ කරුණෙ මෙ තෙක් එක වචනයක්කත් කතා කළේ නෑ. මාස එකහමාරක් තිස්සෙ නුවර ඉස්පිරිතාලෙදි මරුව එක්ක හටං කොරල උන්දැ ගොඩ ආව එක ම ඇති කියල යි කුසුම හිතුවෙ.

ඇගෙ ‘එක් පස් ‘ දෙ බස නැවතුණෙ කේතලේ වතුර උතුරල ලිප නිවාදාන්ට තතනනකොට යි. හනිකට තේ ගොට්ට අරගෙන කරුණෙගෙ ත් තමංගෙ ත් බෙලෙක් කොප්ප දෙකට කහට වැක්කෙරුව ඈ සීනි බෝතලේ දිහා නො බැලුවෙ ඒකෙ තිබ්බ අන්තිම සීනි කැටෙ ත් උදේ කෙළීට හූරල දුන්න බව මතක තිබුණ නිසා.

අවුරුදු පහකට විතර ඉස්සර ආණ්ඩුවෙං ඉඩං ලැබිල මෙතෙන්ට එනකොටවත් මේ වගේ හිඟපාඩුවක් තමුංට නොතිබ්බ බව කුසුමට මතක්වුණා. ආණ්ඩුවෙං ලැබිච්ච වන්දි මුදලයි, ඉතුරු කරගෙන හිටපු දහපහලොස්දාහයි යටකරල මේ ගේ පොඩ්ඩ හදාගෙන පදිංචියට එනකොට යාන්තං කෙළීට අවුරුද්ද ලැබුව විතරයි. එතනිං පස්සෙ යන්තං ජීවිතෙ එකලාසයක් වීගෙන එනකොට ම සිද්ද උන අබග්ගෙ නිසා අතේ තිබුණ පිච්චියත් වියදං වෙල, රටටත් ණය තුරුස් වෙල යි නතර උනෙ.

තව සැරයක් හීල්ලුව කුසුම කහට කෝප්පෙ ඇරං ගිහිං කරුණෙගෙ අතේ තියල තමංගෙ කහට ඩිංගිත්ත උගුරෙං පහලට යවාගත්තෙ දවස් හතරක් තිස්සෙ දුම්මැස්සෙ දාල අමාරුවෙං වේලගත්ත හඳුංකූරු ටික එක්කාසු කරගෙන පත්තර කඩදාසියක ඔතාගන්න ගමං. එව්ව දාගෙන යන්ට සිරි සිරි මල්ලක් වත් තිබුණනං හොඳයි කියල ඈට හිතුණ. මොකද ආයෙත් ආකාසෙං හීං පිණිකුඩු ඇදහැලෙන්ට පටං අරං තිබුණ, ඈට ඔච්චමට වගෙ.

පින්නත් එක්ක ආපු හීතල හුළඟ අවසරයක් නැතුව ම ඉස්සරහ දොරිං ගෙට ඇතුල් උනෙ කුසුමගෙ ඇ‍ඟේ හීගඩු නංවමින්.

“අනේ අර මනුස්සයට හීතල අල්ලාවි මෙහෙම හිටියොත් නං..“

හිතපු කුසුම ගෙයි තිබුණ සරමක් ගෙනිහිං කරුණෙගෙ උඩුකය වැහෙන්ට පෙරෙව්ව.

“ යාන්තං දුමේ තියල වේලගත්ත හඳුංකූරු දෙදහක් විතර තියෙනව.. රුපියල් හැටක් විතර හම්බවෙයි මයෙ හිතේ.. දාවට කන්ට මොනවහරි ඇරං එන්නං. සරම පොරවගෙනම ඉන්ට මං එනකං “.

කුසුම සද්දෙං කිවුවෙ පොඩි දරුවෙකුට කතා කරනව වගෙ ආදරේකුත් එක්ක.

ගෙයි දොර මුල්ලෙ තිබ්බ කරුණෙගෙ පරණ කුඩ කබල දිගෑරගත්ත කුසුම මිදුලෙ මඩ වලවල් මග අරිමින් අඩිය තියල ගිහිං පාරට බැස්ස. ආණ්ඩුවෙං දෙනකොට මඩවගුරක් වෙච්චි ඉඩම මේ ගානට හදාගත්තෙ කරුණෙගෙ දහිරිය නිසාමයි. එහෙව් මනුස්සය නේද අර දොරකොඩට වෙලා දැං බලාගත්තු අත බලාගෙන ඉන්නෙ කියල හිතපු කුසුමගෙ පපුව හෝස් ගාල පත්තු උනා.

ආකහෙ බලන්ට තරං දියවෙල, තුනීවෙච්ච කුඩෙං වෑහුණ ලොකු වතුර බිංදු කඳුළුත් එක්ක මුහුවෙද්දි හඳුංකූරු ටික පපුවට තුරුළු කරගත්ත කුසුම හනික පාර අයිනෙ තණකොළ ගොල්ලට ගොඩවුණෙ පස්සෙං ආපු වාහනේක නළා සද්දෙ සැරකමට. ඒක කුසුම පහුකරගෙන ගියෙ උදේ ඉඳං වැස්සෙං පිරිල ගිය වතුර වලක් දෙබෑ කරමින්. වාහනේ වීදුරුවෙං බලපු කෙනෙකුට ඒක ලස්සන වතුර මලක් වගෙ පෙනේවි. ඒත් පස්ස හැරිල බැලුවනං ඒ ලස්සන වතුර මලෙං පෙඟිල ගිය හඳුංකූරු මිටිය තුරුළු කරගෙන,  හිස්බැල්මෙං බලා ඉන්න කුසුමාවතී ත් මොහොතකට හරි පෙනේවි...




5 comments:

  1. හා පින්වතා ....
    මම අද දැක්කේ මේක . අනිත් පොස්ට් හෙමීට කියවන්නම් ඉක්මනටම .

    ReplyDelete
  2. දැන්නේ දන්නේ ! කතාවනම් සුපිරි කියලා කිව්වනේ තෙලස්ට්‍රොවේදී !
    ජය ජය !

    ReplyDelete
  3. @ වයලීනෝ: එළ මචං :)

    @ සිංදුවා : ස්තුතියි මචෝ!!

    ReplyDelete
  4. හ්ම්........ ජිවිතය නේ? අර කාර් කාරයාට නම් හොඳක් වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. එහෙම ම කියන්ටත් එපා, මොකද අත්වැරැදීම්, වළක්වන්ට බැරි අවස්ථා එනව හැමෝටම. නේද?

      Delete