2013-07-20

පියෙකු ගෙ කඳුළු




මගෙ දුවේ, උඹ දන්නව ද මං උඹ ගැන තියෙන දුක හිතේ තද කරන් කොයි තරම් හිත ඇතුළෙන්  විඳවනව ද කියල..? උඹේ අනාගතේ ගැන හිත හිතා කොයි තරම් දුක් වෙනව ද කියල..? ඒත් ඒ දුක පිට කරල අඬා වැළපෙන්න මට බෑ... කඳුළු හෙළන්න මට බෑ... මං එහෙම කළ ත්... ඔව්, මං එහෙම කළ ත් උඹ මාව තේරුම් ගනීවි ද කියල මට සැකයි...උඹ මාව වයසක පිස්සෙක් විදිහට ගණන් ගනීවි ද කියල මට බයයි...


දරුවෙක් හදන්න, ඊටත් වඩා දුවෙක් හදන්න දෙමව්පියො විඳින දුක් කරදර අනන්ත යි, අප්‍රමාණ යි... ඒ දුව රැකබලාගන්න දහසක් ගින්දර මැද දැවෙන එක අපි ට මහ දෙයක් වුණේ නෑ... ඒත් එහෙම හදපු උඹ අද අප ව අත ඇරල වැරදි පාරක මංමුලා වෙන හැටි බලන් ඉන්නකොට, අපිට උඹ ව බේරගන්න කිසි ම දෙයක් කරන්න උඹ ම ඉඩ නො දෙනකොට, දැනෙන අසරණකම ගිනියම් යකඩයක් වගේ පපුව පසාරු කරන්න හදනව...

දුවේ, දසමාසයක් උඹ ව කුසේ දරාගෙන ඉඳල, උඹ උපන්න දා ඉඳල මේ වෙනකනු ත් උඹ ව හිතේ දරාගෙන ඉන්න උඹේ අම්ම, උඹ වෙනුවෙන් ම තමංගෙ ඇට ලේ මස් දිය කරල  උඹට දුන්න ජිවිතේ වෙනුවෙන් උඹ ඇයට ණය යි... ඒ ජීවිතේ ඔය විදිහට විනාස කරගන්න තරම් නො වටිනා එකක් නො වෙන බව ඈ උඹ ට කියා දේවි... මං කළේ උඹ ලොකු මහත් කරන එක විතර යි, මගේ ලේ කිරි වුණේ නෑ උඹ වෙනුවෙන්... ඉතිං මං කියන එක නාහ හිටියට මට උඹ ත් එක්ක තරහක් නෑ... ඒත් අම්මට ඇහුංකං දීපං මගෙ දුවේ...
***

කට්ටිය බලනව ඇති ලැම්බ ත් මෙගාවක් වත් ලියන්න අර අදිනව වත් ද කියල. නෑ නෑ, මම මේ කිවුවෙ එක්තරා ගීතයක් මගෙ හිතට දැනුණ විදිහ. අප්පච්චි කෙනෙක් තමංගෙ දුව නිසා අසරණ වුණ වෙලාවක හිත ඇතුලෙ බුර බුරා නැගෙන මහා විලාපයක් වගෙ යි මට ඒක දැනුණෙ. අපේ යහපත් රස සංවේදනයක් ඇති සහෘදයන් එක්ක මේ අදහස් බෙදාගන්න ඕනෙ කියල හිතුණ...

දැන් කල්පනා කරනව ඇති ගීතය මොකද්ද කියල... ටිකක් අනුමාන කරන්න බලන්න J

*
*
*
*
*
*
මෙන්න මේක තම යි ගීතය...

ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්
සිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුළ වුණත් නෙතු අගට ඇවිත්
යළි ඔබේ පයට පෑගෙනවා නම්

එක මලක් තන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විඳින තරම්
ඒ පිපෙන මල ත් කළු දෙබරු ඇවිත්
විෂ තුඩින් පෙළා රිදවනවා නම්

දස මසට වඩා පුරනා පෙරුමන්
ලොව හදන වඩන මව්වරුනි උතුම්
මට කියාදෙන්න ලොව ඇති ද ඉතින්
වෙන අරුතක් මේ ජීවිතය තරම්...

මේ ගීතය බුකියෙ බූට් පේජ් එකක තිබුණ මම දැක්ක. ගොඩක් අය මේක මේ විදිහට වැරැදියට වටහගෙන ඇති කියල මට හිතුණ. ඒත් මං හිතන්නෙ කඳුළු තියෙන්න බූට් සිංදුවලම යි කියල කියන්න බෑ කියල යි...




5 comments:

  1. ෂඃ එලට ලියලා තියෙනවා හිතට වදින්න .
    මමත් ඕක කලින් හිතාගෙන හිටියේ බූට් කේස් එකක් කියලා . සිංදුවා තමයි මටත් ඕක ගැන කිව්වේ . කොහොම හරි මේ පොස්ට් එකෙන් ඒක තහවුරු උනා .

    ReplyDelete
  2. තෑන්ක්ස් මචං..මේක අ.පේ. ත් පෝස්ට් කරල තියෙනව.. :)

    ReplyDelete
  3. ඒ දවස් වල වයලා නෑනේ තෙලස්ට්‍රොවේ. ඒකෙන් මග ඇරෙන්න ඇති. :)

    ReplyDelete
  4. මේ පෝස්ටුව ගැන අපි අන්තිම පේලියේ දිග විචාරයක් ගියා නේ කොමෙන්ටු වලත්...

    ReplyDelete