2013-08-20

සෙල් ටැම්




ජීවිතය නම් කිමෙක් දැයි මම නිරතුරු කල්පනා කරමි. දිවියෙ හි සැටි මේ යැයි වෙන්කොට දැක්වීම නම් නො කළ හැක්කකි. ගලා යන ගංගාවක් සේ එය කාලය නමැ‘ති නිම්නය ඔස්සේ වෙනස් වෙමින් ගලා බසී. විපරීත භාවයෙහි අපූර්වතම දෘෂ්ටාන්තය එය වෙයි. එය එක් විටෙක ඒ රසෝඝයෙක් සේ සිත රසයමින්, හද කිතිකවමින් ගලා ඒ. තවත් විටෙක මහෝඝයෙක් සේ සිත සසලවමින් හද දෙදරවමින් හමා යේ.


ගලා එන රසෝඝය හා සමඟ පාවී යන්නා වූ ද, හමා එන මහෝඝය හා සමඟ ගසාගෙන යන්නා වූ ද, තුරු විටපයන්ගෙන් ගිලිහී ජීවිත නදියෙ හි මතුපිට පා වෙන පත් සේ වූ පුඟුලෝ දිගු කලක් තිස්සේ ඉන් මිදී ගත නොහී දුකට පත් වෙති. ඔවුහු ඒවා තුළ මීයෙහි වට කුහුඹින් සේ ගැලෙන්නෝ, රසෝඝයෙ හි ඇලී එහි රසයෙන් නො සෑහෙති, මහෝඝයෙ හි දැඩියාවෙහි අපමණ ලෙස ගිලී තැවෙති. ඉන් මිදුණු පසුව ද කලක් ඒ තුළ ම විඳවමින් ජීවත් වෙති.

එසේ වතුදු, දියෙ හි වට සෙල් ටැම් සේ දැඩි සරූප දක්වමින් දිවියේ සසැලුම් ඉදිරියේ නැගී සිටින්නෝ ද වෙති. ඔවුහු දිවි ගඟුලේ පතුලට බැස, එහි යථා ස්වරූප අත්විඳිති. පා වෙන තුරු පත්හු උන් හා ගැටෙන්නට ගොස් විසුණු වෙති,නැත හොත් අතරමං ව අන් අතෙක පාව යති.


එහෙත් ඔවුහු සාකල්‍යෙයන් ම සෙල් ටැම් හා සම නො වන්නේ ද වෙති. ඒ සාම්‍යත්වය බාහිරයට ම පමණක් සීමා වෙයි. මන්ද සෙල් ටැම් සේ ඔවුන් ගේ අභ්‍යන්තරය දැඩි නො වන හෙයිනි. ඒ නොම දන්නෝ ඔවුන් ගේ නො නැමියාව හා රළු පරලු බැව් දැක එහි දොස් දකිති. එහෙත් රසෝඝයන් හි රසය ද, මහෝඝයන් හි දැඩි බව ද පිටත කඨෝර බව හරහා ඔවුන් තුළට ද කාවදී. ඔවුහු සුපුරුදු නිසල බවින් යුතු ව ඒවා ස්පර්ශ කරන්නෝ , හුදු පුහුදුන් බවින් යුතු ව ඒවා වින්දනය කරති. එ වතුදු ඒ මගින් ඔවුන් තුළ ඇති කෙරෙන විපර්යාසයෝ පිටතට නො පැමිණ අභ්‍යන්තරයෙහි ම දැල්වී නිවී යති.

රසෝඝයට ද, මහෝඝයට ද එක සේ මුහුණ පා, ඒ තුළ නො සැලී, ඒ සමඟ ඇදී නො යන්නෙක් වේ ද, හේ ජීවිතය එක ම රස ගුලාවක් සේ වින්දනය කරන්නේ ය. එ නමුදු එ සේ කළ හැක්කෝ නම් ඉතා ම විරලය හ. හැඟීම් නො හඳුනන්නේ යැයි ගැරැහුම් ලබන්නෝ ද ඔවුහු මය෴




© Chämika Ratnäyake

No comments:

Post a Comment