2013-08-26

යුද පෙරමුණෙන් ඉසිඹුවක්



පැද්දෙමින් ඉදිරියට ඇදෙන කරත්තයේ කිරි කිරිය මැද සිය සාක්කුවේ වූ ලිපිය එළියට ඇදැගත් ඉවාන්කෝ නැවත වරක් ඒ දෙස බැලුම් හෙළුවේ ය.එය අම්මා එවූ ත්‍රිකෝණ ලිපියකි. එහි නැමුම් දාර දැන් ඉරී යන තරමට තුනී වෙලා ය.පසුගිය මාසයේ දී එය කී පාරක් කියෙව්වා දැයි ඉවාන්කෝ වත් නො දනී. සිතිවිල්ලකින් තොරව ඒ දිගහැරි ඔහු එහි අකුරු පේළි හරහා දෙනෙත් ගෙන ගියේ ය.

1941 නොවැම්බර් 15 වැනිදා ය

පුතේ,

උඹ යුද පෙරමුණේ අතුරු ආන්තරාවක් නැති ව ඉන්නවා ඇතැ යි මං හිතනවා. යුද්දෙ ගැන විස්තර ඇහෙන හැම වෙලාවක ම මං ඉන්නෙ හිතේ ගින්දරෙන්. මොන විදිහෙං හරි උඹ ව ගමේ නවත්ත ගත්ත නං කියල මට ඒ වෙලාවට හිතෙනව. ඒත් උඹේ තාත්ත නං කියන්නෙ කැමැත්තෙං ම යුද පෙරමුණට යන්ට තරං එඩිතර වුණ පුතෙක් ඉන්න එක ගැන ආඩම්බර වෙන්ට ඕනැ කියල යි.

මං මේ ලියුම ලිව්වෙ උඹට වැදගත් ආරංචියක් කියන්ට යි. නංගිට මඟුල් යෝජනාවක් ආව, මීහයිල් මාම ගෙ පොඩි පුතා, පෙත්රොව්ගෙං. ඌ හොඳ ගුණ යහපත් තරුණයෙක්. වැඩ කරන්නෙ නගරෙ කර්මාන්තශාලාවෙ. ඉතිං අපි කැමැත්ත දුන්න. එත් පුතේ උඹ නැතිව මංගල්ලෙ කරන්ට අපට හිත් දෙන්නෙ නෑ.

පුතා යුද පෙරමුණට ගිහිං දැනට හය මාසයක් වෙන්ටත් ආව. ඔය නිලදාරි නිවාඩුවක් දෙන්ට වත් කරුණාවන්ත නැති ද? එහෙම නැත්තං වැඩිපුර නිර්භීත තරුණයින්ව නිවාඩු යවන්ට ඔවුන් අකැමැති වෙන්ට ඇති. මෙච්චර කාලයක් සටන් වැදිලත් ඔය ජර්මන්කාරයො මට්ටු වෙන පාටක් නැති ද ඉවාන්කො?

කොයිහැටි වෙතත් උඹ පරිස්සං වෙයං. ජර්මානුවො මහම කපටි කයිරාටික ජාතියක්. හැමවෙලාවෙ ම හෝදිසියෙං ඉන්ට අමතක කරන්ට එපා. ඕනැවට වඩා සීතලේ, පින්නෙ ඉන්ට යන්ට එපා, අසනීප වේවි.


උඹ යුද පෙරමුණෙං නිවාඩු ලැබිල එනකං ඉන්ට මනමාලයගෙ පැත්තෙ අයවත් අමාරුවෙං කැමැති කරවගත්ත. අපි දැං බලාන ඉන්නෙ උඹ එන තුරු යි. උඹට දෙවි පිහිටයි.

මීට උඹේ ආදර අම්මා.


ලියුම කියවූ පසු ඔහුට කාන්සියක් දැනුණි. පාබල ලයිතන් ඉවාන්කෝ ස්තෙපානොවිච් පොපොව් පසුගිය හය මසක් තිස්සේ ගත කළේ යුද පෙරමුණේ ය. ඒ දින වල මින්ස්ක් හි තිබූ යුද පෙරමුණ දැන් කුර්ස්ක් අසල ය. හිසට ඉහළින් පුපුරන ෂෙල් වෙඩි, ලේ වැගිරෙන මළකුණු, කැඩී විසිරුණු අත් පා, ඒ සියල්ලම වසා පැතිරෙන වෙඩි බෙහෙත් ගඳ, ඔහුට දැන් එදිනෙදා දේවල් බවට පත් වී ඇත. එහෙත් සිය ගමේ ජීවිතය තවමත් පෙර පරිදි ම පවතින බව සිතූ ඉවාන්කෝ ට සතුටක් දැනිණි. සුසුමක් හෙළූ හේ ලිපිය නවා සාක්කුවට ඔබා ගත්තේ ය. 


කරත්තයේ පැද්දෙමින් යන ගමන නිසා ඔහුට නිදිබර ගතියක් දැනෙයි. සිය මව යුද්ධය පිළිබඳ ව සිතා සිටින ආකාරය ගැන ඔහු ට සිනා පහල විය. ඈ සිහි වීමෙන් උණුසුම් හැඟීමක් ඔහු තුළ පැන නැගුණේ ය. පාසැල් ගුරුවරයෙකු වූ ඔහු ගේ පියා පාසැලේ උගන්වන සැටි, ධාන්‍ය කෙතේ වැඩ කරන සැටි ඔහු ට මැවී පෙනුණි. සිය ආලවන්තිය ආන්යා, ඔහු ගේ සොහොයුරිය සමග කවට කතා තෙපළන සැටි ත්, කෙල්ලන් නිකම් සිටීම ගැන රොස් වූ ඔහු ගේ මව ඔවුන්ට බැණවදින සැටි ත් ඔහු සිතුවේ ය. ඉන් සිදුවන්නේ කෙල්ලන් ගේ සිනහව තව වැඩි වන එක පමණෙකි. හිරු රැස් ඔහු ගේ තඹවන් කෙහෙරැලි මත කැලුම් දෙමින් නටත් දී, පාර දෙපස තුරු වදුලු පිස හමා එන සුළඟ ආශ්වාස කරමින් ඉවාන්කො මඳ සිනා පෑවේ ය.
***

මහ මගින් අයිලය වෙතට දිවෙන පාර අද්දර දී ඔහු රියෙන් බැස්සේ ය. රියැදුරු ට ස්තුති කරමින් යමක් මිමිණූ හෙතෙම ඉක්මන් ගමනින් පා නගන්නට විය. නමුත් මඳ දුරක් යත් දී සිතෙහි නො ඉවසිල්ල ඊට ද වඩා වැඩි වුයෙන් ඉවාන්කො හැල්මේ දිවයන්නට වන්නේ ය.

මග දෙ පස පසු වී යන ගහකොල පවා ඔහු ට ඉතා හුරු පුරුදු ලෙස හැඟුණේ ය. මග සෙවණ කරන පයින් සහ පොප්ලර් ගස් ඔහු ගේ සොහොයුරන් මෙනි. සුළඟින් ඒවායේ අතු වැනෙන විට ඒවා තමාට අඬගසනු වැනි හැඟීමක් ඔහු තුළ ඇති විය. 
“සොහොයුරනි, මම ගෙදර ආවා..!“ දුවන අතර ම ප්‍රීතියෙන් තමාට ම මුමුණාගත් ඔහු ළය පුරා හුස්මක් ඇදගත්තේ ය.

අයිලයේ ඇති පල්ලියේ සුදු පැහැ ගත් ඝණ්ටා කුලුණු මීදුම අතරින් දැන් ඔහුට පෙනේ. නො ඉවසිල්ලේ වැඩිකමට ඒවා තව තවත් දුර යන සෙයක් ඔහුට දැනුණේ ය. අයිලයට ඇතුළු වෙත් දී හමුවන පළමු ගෙය ඔවුන්ගේ ය. ඈත සිට ම ගෙයි ඉදිරිපිට ඇති බර්ච් ගස දුටු ඉවාන්කෝ ගේ මුවට සිනහවක් නැගුණි. සොහොයුරිය සහ තමා කුඩා කාලයේ පටන් ම එහි අතු වල සුළං සීනු එල්ලීමට පුරුදු ව සිටි අයුරු ඔහුට සිහි විය. ඒවායින් දෙකක් තවමත් සුළඟට වැනෙන අයුරු ඔහුට පෙනෙයි.

මඳ දුරක් ඉදිරියට ඇදෙන විට ඒවා සුළං සීනු වලට වඩා විශාල දේ බව ඔහුට හැඟී ගියේ ය.

“ඒවා මොනවා විය හැකි දැ“ යි ඔහු තමාගෙන් ම ඇසීය. සිය මව, වේලීම සඳහා තෙත ගෝනි එල්ලා ඇති සෙයකි.

මඳින් මඳ දසුන පැහැදිලි වන විට ඔහුගේ කොඳු නාරටිය හරහා ශීතල කම්බියක් ඇදී යනවාක් මෙන් ඔහු ට දැනී ගියේ ය. ඔහු හැකි වෙර යොදා එ දෙසට දුවන්නට පටන්ගත්තේ ය. ඊට වඩ වඩා ළංවත් ම දෙපා අප්‍රාණික වී ගිය ඉවාන්කො ඒ ඉදිරියේ දණින් වැටුණේ ය. ඔහු ගේ හිස හරියට දඬු අඬුවකින් තද කරනවා වාගේ ය.

ගෙයි ඉදිරි දොර හැර දමලා ය. ඔහුට හුරු පුරුදු සිහින් රුවක් ගෙ තුළ පොළොව මත වැතිරී තිබෙයි. දොර අසල, සිය පියා ගේ තුවක්කුව බිම වැටී ඇත. ඒ අසල ම, අළු පැහැ ඇඳුමෙන් සැරැසුණු ජර්මානු එස්.එස් භටයෙකු ගේ මළකඳකි. ඉවාන්කෝ තවම ත් දණගසාගත් ගමන් ය. ගිනිගෙන දැවෙනවාක් මෙන් රිදුම් දෙන ඔහු ගේ දෑස් පුපුරන්නට යන සෙයක් ඔහුට දැනුණේ ය. ඔහු ගේ සිතිවිලි එක ම අවුල් ජාලයකි.

“මේ කාලකණ්ණි ජර්මානුවෝ....“

කෝපයෙන් පිරි කටහඬක් පවසනු ඔහුට පසුපසින් ඇසුණි. ඉවාන්කෝ ආයාසයෙන් හිස හරවා එ දෙසට දෑස් යොමු කළේ ය. එහි වූයේ පැරැණි කරත්තයකට නැගගත් මහල්ලෙකි.

“..උන් මුළු ගම ම විනාස කරල. නො මැරි ඉතිරි වුණු මිනිස්සුන් ට මොනව වුණා ද කියල දෙයියො තමයි දන්නෙ..“

මහල්ලා නො නවත්වා කතා කරයි. ඔහු තමාට ම කතාකරගන්නවා වැනි ය. සාප කිරීම් සහ දෙස් දෙවොල් තැබීම් වැලකි.

වියළි බැල්මකින් යුතුව ඉවාන්කො නැගී සිටියේ ය. කතාව අතරමග නැවැත්වූ මහල්ලා ඔහු දෙස විමසිලිමත් ව බැලීය.

“නිලදාරි සහෝදරය මොනව ද මෙ තැන කරන්නෙ?“

වදන් එක් කර ගැනීමට ඉවාන්කෝට මඳ වෙලාවක් ගත විය.

“යුද පෙරමුණට..යන ගමං..“

“මේව දැකල තමුසෙ මටත් වඩා කම්පා වෙලා වගෙ. යුද පෙරමුණේදි මේ වගේ දේවල් දැකල නැති ද?“

ඔහු වදනකුදු නො පවසා බලා සිටියේ ය. මහල්ලා නැවත වරක් කතා කළේ ය.

“මං හැඟීමක් නැති ව කතා කරනව කියල හිතන්ට එපා සහොදරය. ඒත් මළ මිනිස්සු මළා. අපි ජීවත් වෙන්ට ඕන ජර්මානුන්ට පාඩමක් උගන්වන්ට. කරත්තෙට ගොඩවෙන්ට, වොල්ස්ක් වෙනකං මාත් එක්ක යා හැකි..“

ඉවාන්කෝ නිහඬවම කරත්තයට නැගගත්තේ ය. ගසෙහි එල්ලෙමින් තිබූ මළ සිරුරු දෙක දෙස බලමින් කෝපයෙන් යමක් මිමිණූ මහල්ලා අසුට සන් කළෙන් අබලන් කරත්තය මීදුමෙන් වැසුණු මග දිගේ හඬ නගමින් ඉදිරියට ඇදෙන්නට පටන්ගත්තේ ය.

© Chämika Ratnäyake

6 comments:

  1. හැමදාම වගේ පට්ටයි ! හිතෙන්නම එකෙන්ම පරිවර්තනයක් කියලයි බං ! පස්ට !

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මචා :)

    ReplyDelete
  3. දවස් දෙක තුනක් බ්ලොග් පැත්තේ එන්න බැරිවෙලා රෝල ගල් රෝලක් වෙලා දැන් මාගලක් වගේ වෙලා . වෙලාව ආපු වෙලාවේ කියවන ගමන් . අයියගේ කතා ගැන ඉතිං කවර කතාද . පට්ට ආ .....!

    ReplyDelete
  4. මේ දවස්වල වයල පේන්න හිටියෙ නැත්තෙ ඇයි කියල ඒත් මම හිතුව..බොහොම ස්තුතියි කොමෙන්ටුවට :)

    ReplyDelete
  5. Replies
    1. ස්තුතියි බුද්ධි :)

      Delete