2014-01-13

සරසවි වැණුම් - 2


සරසවි වැණුම් පළමු වැන්න කොටල හැමෝට ම ඒක අමතක වෙලා යනකම් වත් දෙ වැන්න දාන්ට නො හැකි වීම ගැන මුලින් ම සමාව අයදිනව. විභාග කටයුතු වලින් පස්සෙ ත් හිතපු තරම් නිදහසක් නො ලැබුණ නිසා පෝස්ටුවක් දාන එක හරි ම අමාරු කටයුත්තක් වෙලා.


කොහොම වුණ ත් මාතෘකාවට යොමුවෙමු අපි. 

කලින් පෝස්ටුවෙ කියපු විදියට ම සරසවිය, එහෙම ත් නැත්තම් සකු බසින් සරස්වතිය කියන්නෙ සියලු ම කලාවන් ට අධිපතිනිය වන ඉතා ම සුරූපී දෙවඟනක්. සංගීතය ට අධිපතිනිය වීම නිසා ඇය වෙනුවෙන් ගීත රාශියක් නිර්මාණය වෙනව. ඒ වගේ ම නැටුම් කලාවට අධිපතිනිය වීම නිසා බොහෝ කලා ප්‍රසංග ඇරැඹෙන්නෙ සරස්වතී අභිනන්දන නර්තනයෙන් බව ත් ඔබ දැක ඇති. සරසවිය වෙනුවෙන් කලාකරුවන් නැටුම් ඉදිරිපත් කළ ත්, නැටුම ට අධිපති සරස්වතිය ම රඟ මඬුල්ලකට බැස, තමා විසින් ම එහි රැඟුම් රඟන අවස්ථාවක් ගැන ඔබ හිතා තියෙනව ද?

නිකමට හිතල බලන්න, නර්තන කලාවේ සියලු ම සිප් සතර මැනවින් දන්නා, තමා ම රංගන මාධුර්යය ට අධිපති වූ, සියලු ම නර්තන ශිල්පීන් අතින් ගරු බුහුමන් ලබන්න වූ, ඉතා සුරූපී නාරි දේහයකින් යුක්ත වූ නළ‘ඟනක් සිත් කම්පිත කරන්නා වූ තාලයකින් රංගන භාව භාවයන් දැක්වීම ගැන. එය කොයි තරම් නම් අපූර්ව, ආනන්ද ජනක, මෝහනීය වූ අවස්ථාවක් වනු ඇති ද කියා ඔබ ට හිතාගන්න පුළුවන් ද? එ වැන්නක් දැක ඊළඟ මොහොතේ දී සිය දිවි තුරන් වනවා ය කීව ත්, ඒ දැකීමට මිනිසුන් පොර වදීවි. එ වන් වූ රංගනයක් පෙන්වන්නටැ යි සරසවියට හෘදයාංගම වූ ආයාචනයක් කරන්නට ඔබ කැමැති ද?

ඇත්තෙන් ම මේ අපූර්ව, චමත්කාර ජනක මනෝ සිතුවම මා විසින් ගොඩනැගූවක් නො වෙයි. අපෙන් වියෝ වූ සුන්දර සිතක ඇති වූ සුන්දර සිතිවිල්ලක්. ඔහු විසින් එම ආයාචනය ලාලිත්‍යවත් වූත්, උසස් වූත් පද වැලකට ගොනු කරනු ලදු ව, අප වෙත තිළිණ කෙරී තිබෙනව. ඒ අන් කවරෙකු වත් නොව සරල ගී රචකයෙකු ලෙස බොහෝ දෙනෙක් හඳුන්වන කේ.ඩී.කේ. ධර්මවර්ධනයන්. ඔහු විසින් රචනා කෙරුණු දහස් ගණනක් වූ මියුරු සරල ගී වලට අමතර ව ලියැවුණු සරල ශාස්ත්‍රීය ගීත කිහිපයක් තියෙනව. මහනුවර මල්වතු විහාරයේ වෑඋඩ දේවමිත්ත නා හිමියන් වෙතින් සිංහල, පාලි සහ සකු බස පිළිබඳ ව ලැබූ පරිණත බව ඔහු ගේ බොහෝ ගීත වල දක්නට ලැබෙන වියත් බස් වහර ට හේතු වන්නට ඇති.

 පණ්ඩිත් අමරදේවයන් විසින් හඬ මාධුර්යය සැපැයුණු කුමරියක පා සලඹ සැලුණා ගීය ඉන් එක් ගීතයක්. අනෙක අද මම කතා කරන්නට යන, වික්ටර් රත්නායකයන් ගේ හඬින් සහ සංගීතයෙන් වර්ණවත් වන හෝපලු වනපෙත ගීතය යි.

දැන් අපි එම අපූර්ව වූ ගීතයට යොමු වෙමු...


හෝපලු වනපෙත කම්පිත කරවන
මන්මද නර්තන රංගන කළ මැන...

ළැම විල පියකරු හසුන් රකින්නී
සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී
මන්මද නර්තන රංගන කළ මැන...

අංජන ගල්වන පංකජ නයනී
වෙණ චංචල කළ සත්සර දියණී
මන්මද නර්තන රංගන කළ මැන...

මෙහි සරල අරුත මෙසේ යි,


- හෝපලු - අශෝක ගස්


හින්දු සහ ජෛන ආගම් වල විශේෂ ස්ථානයක් හිමි වෙන ශාකයක් තමයි මේ. සකු බසින් අශෝක, අනංගප්‍රිය වැනි නම් වලින්, සිංහලෙන් දියරත් මල්, දියරතඹලා යන නම් වලිනු ත් හැඳින්වෙනව.

හින්දු සාහිත්‍යයට අනුව මෙය ධනයට අධිපති වූ යක්ෂිණියන් ඇසුරු කරන ගසක්, ඒ වගේ ම රාමායණ කතාවෙ දි හනුමාන් ට මුල්වර ට සීතා මුණගැසෙන්නෙ ත් අශෝක වනයක දීයි.

ජෛන ආගමේ නිර්මාතෘවරයා වන මහාවීර ලෝකය ජය ගෙන ඇත්තේ අ‍ශෝක ගසක් යට බවට එම ආගමිකයන් විශ්වාස කරනව.

ඒ වගේ ම සල් සහ අශෝක යන ගස් වර්ග දෙක වරදවා යොදාගැනීම නිසා ඉන්දියානු බෞද්ධ ගොඩනැගිලි වල ත් අශෝක වෘක්ෂයන් හි රූ නිමැවී තිබෙනව.

ඒ වගේ ම සාහිත්‍යය ට අනුව කාමදේව හෙවත් අනංගයා විසින් සිය මල් හීයට යොදන මල් වර්ග පහෙන් එකක් වන්නේ ත් අශෝක මල්. එය අනංගප්‍රිය ලෙසින් නම් කෙරුණේ ත් ඒ නිසා වන්නට ඇති.

මෙම ගීතයේ දී අ‍ශෝක වනයක් කම්පිත වීම ලෙසින් අදහස් වන්නේ එක්කෝ තුනු සපුවෙන් හෙබි සරසවිය ගේ ලාස්‍ය රංගනය නිසා සිත තුළ මතු වන රාගෝද්දීපනය යි, නැත්නම් හෝපලු වනයක් කම්පනය වන තරම් වන ඇය ගේ රැඟුමෙ හි ඇති ප්‍රබලත්වය යි. මම පුද්ගලික ව කැමැති පළමු අදහසට යි.

- මන්මද රංගන - මන්මද යන්නෙ හි අරුත මනස/ හදවත කළඹවන සුලු යන්න යි.

- ළැම විල පියකරු හසුන් රකින්නී - ඈ, සිය ළැම නමැ‘ති විලෙ හි ප්‍රිය උපදවන සුලු                                                                                 හංසයන් වැනි වූ පුන් පියොවුරු දරා සිටින්නී ය.

- සිහිනි‘ඟ සුවිපුල් උකුල් දරන්නී - ඇය ගේ පුළුලු‘කුල, සිහින් ඉඟටිය නමැ‘ති නටුව අග                                                              මොනවට පිපී ඇති (සු - විපුල්) කුසුමක් බඳු ය.                                                              (ඉඟටියෙ හි සිහින්         බව ද, උකුළෙ හි පුළුල් බව ද                                                              සසඳා ඇති අයුරු බලන්න.)

- අංජන ගල්වන පංකජ නයනී - ඈ සිය නෙලුම් (මහනෙල් යන අදහස විය යුතු යි.) මල්                                                                   වැනි වූ දෑස් වල අඳුන් ගලවන්නීය.

- වෙණ චංචල කළ සත්සර දියණි - සප්ත ස්වරයෙන් ම උපත ලද ඈ වීණාව සසල                                                                  කරන්නීය. (හඬ නංවන්නී ය.)





+මුළු අරුත

සිත් සතන් රාගාත්මක හැඟුමින් කළඹාලන සුලු වූ සුන්දර වූ රැඟුම් රඟනු මැනව.

අහෝ, සිය ළැමෙ හි සොඳුරු වූ පුන් පියොවුරු දරන්නියෙනි, සිහින් ඉ‍ඟ මත පිපි පුළුල් උකුළක් ඇත්තියෙනි,

අහෝ, මහනෙල් මල් මෙන් නිල්වන් වූ දෑස් මත අඳුන් ගල්වන්නියෙනි, සත්සරින් උපත ලැබ, වීණා වයන්නියෙනි,

සිත් සතන් කළඹාලන සුලු වූ සුන්දර රැඟුම් රඟනු මැනව...


සරස්වතිය වෙනුවෙන් රඟන රැඟුම් නිරතුරුව ම දකින අප, පෙර නොදුටු විරූ වූ සිහිනයක් තුළින් රැගෙන යන්නට ධර්මවර්ධනයන් ගේ පද මාලාව සමත්ව තිබෙනවා නේද......

ගිතය රසවිඳින්න


video



11 comments:

  1. මේක නම් පට්ටම පට්ට ඈ....
    සුපිරියි බං. මම වැඩිය කැමති මේ සිංදුවේ තබ්ලාවට, ඒ ගහන ටික ඇහුනම පිස්සු හැදෙනවා. දැන් බැලුවම තේරුම තවත් සුපිරි ! ජය ජය !

    ReplyDelete
    Replies
    1. අන්තිම ස ප්‍රසංග වල මේ සිංදුව ටිකක් ස්ලෝ ටෙම්පො එකකින් යනව..වීඩියෝ එක හොයාගෙන බලන්න..ඔරිජිනල් එකට වඩා හොඳයි හිතුණ මට නම්..තබ්ලාව තමා සුපිරි ම...
      ස්තුතියි මචං..

      Delete
  2. නියමයි ලැම්බෝ..වෙලාව තියෙන හැටියට හරි මෙහෙම පෝස්ටුවක් කොටන එකනම් සෑහෙන වටිනවා,අඳුන් කියල කියන්නෙ හරියටම මොනවටද? ලස්සන වෙන්න ගාන ආලේපන වර්ගයක්ද?

    ReplyDelete
    Replies
    1. අඳුන් කියන්නෙ අතීත කාලයෙ ඉඳල ම දකුණු අාසියාතික රටවල වගේ ම අරාබිකරයෙ ත් ඇසිපිය අඳුරු පැහැ කරන්න යොදාගත්ත ද්‍රව්‍යයක්..හරියට ම Eye Shadow වගේ :)
      බොහොම ස්තුතියි සාශා...

      Delete
  3. ෆට්ට මචං දිගටම ලියපං ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං :)

      Delete
  4. හප්පේ..... ඇති යාන්තම්. දෙවනි කොටස ඇවිත්.....
    ගොඩාක් ලස්සනයි. හැමදාමත් වගේ.
    වේලාවක් ලැබුනම, සාෂා මෙච්චරම ආදරෙන් අහන එකේ, සකු බස ගැනත් වෙනම පොස්ට් එකක් ලිව්වොත් නරකද?
    වැඩ පාඩු කරගන්නේ නැතිව? :)

    ReplyDelete
    Replies
    1. ඔව්, සෑහෙන කාලයක් ගියා තමය්.. :)
      සකු බස ගැන දාන්නම් ඊළඟ පෝස්ටුව...
      බොහොම ස්තුතියි බඩී :)

      Delete
  5. ලැම්බෝ........නියම බ්ලොගක්. මේක මාතලන්ගේ සින්ඩියේ එල්ලපන්කෝ.

    නියම පැහැදිලි කිරීමක්. කේ.ඩි.කේ.ධර්මවර්ධන තමයි ලිව්වේ. මියුසික් කාගේද?

    ReplyDelete
  6. බොහොම ස්තුතියි aru :)
    මියුසික් කළ‍ෙ ත් වික්ටර් රත්නායකයන් මයි...
    ඔන්න මාතලන්ට ඊයක් යැව්ව..එල්ලයි ද දන්නෙ නෑ...

    ReplyDelete
  7. පංකජ - මඩෙහි උපන් - නෙළුම් මල් වලට නමකි.

    ReplyDelete