2015-05-17

මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා





මාස දෙකකට විතර කළිං පෝස්ට් එකෙං අනංග දෙවියන් ගැන පොඩි විස්තරයක් කළා නෙව. කල්ප කාලෙකට පස්සෙ මේක දකිනකොට ඒක අමතක වෙලා නං මෙතැනිං ඒක ත් බලල එන්ට. :)

ඔය අනංග සංකල්පය පෙර‘පර දෙ දිග ම සෑහෙන දුරට සමාන විදිහට දකින්ට පුළුවන්. නමුත් වෙනස්කම් සෑහෙන ප්‍රමාණයකුත් තියෙනව.

ඉන්දියානු කලාපය ආශ්‍රිත ව පවතින අනංග සංකල්පය ගැන කෙටි විස්තරයක් කළිනු ත් කළා නෙ. උක්දඬු දුන්නකින් පස් වර්ගයක මල් හී විදින අනංග හෙවත් පෙරදිග කාමදේව තමයි මේ ඉන්නෙ. සිංහලෙන් මල්සර, මින්දද, මලවි, මන්මද යන නම් වලිනු ත් මොහු හැඳින්වෙනව.





වේද සාහිත්‍යයට අනුව අනංගයා උපදින්නේ ලෝකය මැවූ මහබඹු ගේ සිතෙනු යි.  එම නිසා ඔහු මනසිජ (මනසින් උපන් තැනැත්තා) යන නමිනු ත් හැඳින්වෙනව. ඔහු ට අනංග යන නම ලැබීම ත් රසවත් කතාවක්.

සුර අසුර යුද්ධයෙ දි එක් අවස්ථාවක පද්ම නමැ‘ති අසුරයා බලවත් වුණා. යුද්ධයෙන් අසුරයන් ජයගන්නා ලකුණු පහළ වුණා. කලබල වුණු සුරයින් විසැඳුමක් හොයාගෙන විෂ්ණු දෙවියන් වෙත ගිහින් කන්නලව් කළා. සිය දිවැස යොමා බැලුව විෂ්ණු දෙවියන් කිව්වෙ අසුරයන් පරදවා ජයගන්නට හැකි වන්නේ ඊශ්වර දෙවියන්ට දාව උපන්නෙකුට පමණක් බව යි.

මේ කාලයේ දී ඊශ්වර දෙවියන් හිටියෙ හිමාල වනයේ ඉතා දිගු භාවනාවකට සමවැදිල. ඔහු ගේ දැහැන බිඳින්නට හැකියාව තිබුණෙ කාමදේවයා ට පමණ යි. සුරයන් ගේ ඉල්ලීම පිට කාමදේව හිමාලයට ගිහින් උක් ඳඬු දුන්නෙන් මල් හීයක් ඊශ්වර දෙවියන්ට විදිනව. 




මල්සරය වැදී අවදි වන ඊශ්වර බොහොම කෝපයට පත් වෙලා තමන් ගෙ තුන් වැනි ඇහැ විවර කරල කාමදේව දෙසට යොමු කරනව. ඊශ්වර සිය තෙ වැනි ඇස විවර කරල ලෝකය දෙස බැලුවොත් ලෝකය ත් විනාශ වන බව යි කියැවෙන්නෙ. ඉන් නිකුත් වූ බලයෙන් කාමදේවයන් අළු බවට පත් වෙනව.




නමුත් ඔහුට අනුකම්පා කරන ඊශ්වර කාමදේවයන් ගෙ ආත්මය ඉතිරි කරනව. එ තැන් පටන් තමයි සිරුරින් (අංගයන්ගෙන්) තොර කාමදේව, (අන්+අංග=) අනංග යන නමින් හැඳින්වෙන්ට පටන්ගත්තෙ.

අපරදිග කාමදේව සංකල්පය මෙයට තරමක් වෙනස්. අපරදිග සාහිත්‍යයේ ඔහු Cupid යන නමින් හැඳින්වෙනව. මෙය ආශාව/ තෘෂ්ණාව යන අරුතැ‘ති Cupido යන ලතින් වදනින් බිඳෙන්නක්. මේ ඉන්නෙ ඔහු. ග්‍රීක දේව කතා වලට අනුව ඔහු ආදරයට අධිපති දෙවඟන වන Venus (වීනස්) ගේ පුත්‍රයා යි.







අපරදිග කාමදේව, අත්තටු යුවළක් සහිත කුඩා දරුවකු ලෙස නිරූපණය කෙරෙනව. අත්තටු වලින් කියැවෙන්නෙ ආදරය කෙනෙකුට අසීමිත නිදහසක් ලබාදෙන බව/ ආදරයට සීමා නැති බව. කුඩා දරුවාගෙන් නිරූපණය වන්නෙ ආදරයේ ඇති බොළඳ බව.

අපරදිග කාමදේව ත් විදින්නේ දුන්නෙන්. නමුත් ඔහු ට තියෙන්නෙ හී වර්ග දෙක යි. එකක් තියුණු රත්රන් හීයක්. ඒ රන් හීයෙන් පහර වදින පුද්ගලය ආලයෙන් මුසපත් වෙනව. අනෙක් හීය ඊයම් වලින් නිමැවුණු මොට හීයක්. ඉන් පහරක් ලබන එක නම් අවාසනාවක්. මොකද ඊට ලක් වන තැනැත්තා ට ආදරය එපා වෙනව. ඔහුට/ ඇයට තමන් ආදරය කරන අයගෙන් ඈත් වෙන්ට සිද්ධ වෙනව.

දැං සමහරුන්ට හිතෙනව ඇති අනිත් අය ජෝඩු කර කර යන අනංගයට පෙම්වතියක් නැද්ද කියල. ඉන්නව ඉන්නව. පෙරදිග කාමදේව ට බිරියන් දෙදෙනෙකු ම ඉන්නව රති සහ ප්‍රීති කියල. අපරදිග Cupid ට ඉන්නෙ එක පෙම්වතිය යි. ඇය නමින් Psyche (සයිකි). Cupid සහ Psyche ගෙ ආදර කතාවත් බොහොම රසවත්. ඒත් මේ පෝස්ට් එකේ දාන්ට බැරි තරම් දිග යි.

කළින් සැරේ අපි බැලුව නෙ තනිකඩ කොල්ලෙක් අනංගය ඇවිල්ල කෙල්ල සෙට් කරල දෙනකං ළතැවෙන හැටි. කෙල්ලො එහෙම බලං ඉන්නෙ නැද්ද? අනංගය එනකං කන්නලව් කරන්නෙ නැද්ද? කරනව...

සාමාන්‍යයෙන් කෙල්ලෙක් නැති කොල්ලෙක් තරම් කලබලයක් පිටින් නො පෙන්නුව ට කටයුත්තක් කෙරෙන්ට පමා වෙන එක කෙල්ලකට ඊට ත් වඩා ප්‍රශ්නයක්. මොකද වයසට සාපේක්ෂව ඉල්ලුම අඩු වෙන ශීඝ්‍රතාව වැඩි යි, කොල්ලෙකුට වඩා (!)

ඉතිං කාලයක් තිස්සෙ ම බලාන ඉඳල ත් තවම ත් කොල්ලෙකු ත් නැතුව, වයසත් පහු වීගෙන යන ගැමි තරුණියකට කොයි තරම් වේදනාවක් දැනෙනව ඇද්ද...? ඇගෙ හිත ඇතුළෙන් නැගෙන විලාපය මේ වගේ ම ඇති...



ඉස්සෙල්ල ම ගීතය මෙ තැනින් අහල ඉන්ට...





තුංතුඹ මල් - තුඹ මල් ////

තුංතුඹ මල් රෙද්ද ඇඳල

බන්ඩි වළලු දෑත දමාලා

මම දොර ළඟ බලා ඉන්නවා//



අනේ තාම ආවෙ නැහැ නෙ!

ආවෙ නැහැ නෙ!!

ආවෙ නැහැ නෙ!!!

මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා



ගෙදරට එන පාර කිව්ව

පණිවිඩ හත අටක් යැව්ව

අනේ තාම ආවෙ නැහැ නෙ!

ආවෙ නැහැ නෙ!!

ආවෙ නැහැ නෙ!!!

මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා



රටක් වටින කෙනෙක් එක්ක

මටත් හනික දීග යන්ඩ

උදව් දෙන්ඩ ආවෙ නැහැ නෙ!

ආවෙ නැහැ නෙ!!

ආවෙ නැහැ නෙ!!!

මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා



ගායනය : චන්ද්‍රානි ගුණවර්ධන





ගීතය ඇරැඹෙන්නෙ “තුංතුඹ මල් - තුඹ මල්..“ කියන කොටස සිව් වරක් පුනගැයීමෙන්. අනුප්‍රාස රසයක් සහිත එම වදන් නැවැත නැවැත ත් ගැයීමේ දී මතු වන ශබ්ද රසය කෙළිලොල් හැඟීමක් ජනිත කරවනව. තරුණියක ගෙ තියෙන කෙළිලොල් බව යි එහි දී අපට දැනෙන්නෙ.

ගීතයට ප්‍රස්තුත වෙන්නෙ පැරණි කාලයෙ ගැමි තරුණියක් බව මට හිතෙන්නෙ ඈ සිය ආදරය එන තෙක් සැරසිලා ඉන්නට තෝරාගන්නා ඇඳුම් ආයිත්තම් නිසා. ඒ මල් වැටුණු චීත්ත රෙද්දක් සහ බණ්ඩි වළලු ටිකක් පමණ යි. ඒ ඇය ට ඇති හොඳ ම ඇඳුම් පැළැඳුම් බව කියන්නට අවශ්‍ය නෑ. ඇය තමන්ට හැකි හොඳ ම අයුරිනු යි සැරැසෙන්නෙ. එහෙම සැරැසෙන ඈ, දොරකඩ ට වෙලා බලා ඉන්නව, තමන් ගෙ ඉරණම්කරු කැටුව අනංගයා එන තුරු...

නමුත් කිසිවෙකු ත් එන පාටක් නෑ. ඇගේ සිත තුළ ඇතිවෙන්නෙ අවලාදයක් සහ ආයාචනයක් යන දෙකෙහි ම සංකලනයක්.


“අනේ තාම ආවෙ නැහැ නෙ!

ආවෙ නැහැ නෙ!!

ආවෙ නැහැ නෙ!!!...“



එහි “ආවෙ නැහැ නෙ...“ යන්න තෙ වරක් ම ගැයීමේ දී, අනංගයා ගේ නො පැමිණීම ඇයට කෙතරම් ගැටලුවක් ද යන්න උත්ප්‍රාස වෙනවා සේම, එය ට යාදිනි ස්වරූපයක් ද එක් කෙරෙනව.

“ගෙදරට එන පාර කිව්ව - පණිවිඩ හත අටක් යැව්ව...“ යන දෙ පදය මට තව ත් මෙ වැනි ම ගීතයක් මතක් කරනව. ඒ නිරෝෂා විරාජිනී මහත්මිය ගෙ “මින්දදයෝ ඇවිදින් - අහපං රුක් අත්තන මලකින්..“ කියන ගීතය. මේ ගීත දෙකෙන් ම කියැවෙන්නෙ තරුණියක් මල්සරා ගෙ පැමිණීම බලාපොරෙත්තු වීම ගැන. නමුත් මින්දදයෝ ගීතය ගයන්නෙ නව යොවුනේ ආදර හැඟීම් කුළුගැන්වුණු තරුණියක්. අනෙක් ගීතය ගයන්නෙ නව යොවුන් විය පහු කරල බොහොම දුර ආ තරුණියක්.



“රටක් වටින කෙනෙක් එක්ක

මටත් හනික දීග යන්ඩ

උදව් දෙන්ඩ ආවෙ නැහැ නෙ...“



මේ පළමු පදය තරුණියක ගෙ අපේක්ෂා කැටි කරල පෙන්වනව. ඇයට ඕනෑ නාඩි වැටෙන මනුස්ස පරාණයක් නො වෙයි, “රටක් වටින“ තරුණයෙක්. ඒක ම තම යි අද ඔය කියන්නෙ “සුරා සූදුවෙන් තොර, ආගම දහමට ලැදි, වරදට සමාව දෙන...“ කියල. ඇයට ඒ රටක් වටින කෙනා එක්ක “හනික“ දීග යන්නට ඕන. මොකද ඇගේ කල වයස එන්ට එන්ට ම පහු වෙන නිසා. නිරෝෂා විරාජිනී මහත්මිය ත් කියනව, “එනව ද? ඔය මල් දුන්න අරං - අද හෙට මින්දදයෝ...“ කියල. නමුත් ඒ වෙන හේතුවකට.

නමුත් ඇයට ඒ කෙනා තනිවම හොයා ගන්නට බෑ. ඇගේ රූපයෙ අඩුවක් ද, සමාජ ප්‍රශ්නයක් ද දන්නෙ නෑ, නමුත් ඇයට උදව් ඕනෑ. ඇයට උදව් කරන්නට හැකි එක ම පුද්ගලය, මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා තවම ත් එන පාටක් නෑ...

8 comments:

  1. නියම විස්තරේ ලැබ්බා.. හැම එකාටම දුන්නක් දීපු එක තමා අප්සැට් එක.. කඩුවක් වත් දුන්නනං.. නේද?

    ReplyDelete
    Replies
    1. කඩු නොදුන්න එක හොඳයි...කඩ්ඩෙං කොටන්ට ගත්තොත් අපට තේරෙන්නෙ නෑ නෙව ;)
      ස්තුතියි දේශකයෝ!

      Delete
  2. මරු විස්තරේ.. ඊශ්වර දෙවියන්ගේ සම්බණ්ද කතාව අහලා තිබුනේ නෑ.. බටහිර කතාවනේ ඉතින් වැඩි හරියක් දන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔය කඳදෙවි උපත ගැන කතාවෙ මුල් කොටස.. නැගෙනහිර වුණත් බටහිර වුණත් දේව කතා නං හරි ම රසවත් නේද...
      ස්තුතියි දිනේෂ්!!

      Delete
  3. //Cupid සහ Psyche ගෙ ආදර කතාවත් බොහොම රසවත්. ඒත් මේ පෝස්ට් එකේ දාන්ට බැරි තරම් දිග යි.//

    ආයේ ඔහොම රසවත් කියලා ඒක නොකියා හිටියොත්... කොටදෙනියාව පොලිසියට බාර දෙනවා :D
    හැමදාම වගේ සුපිරි මචන් පොස්ට් එක.

    ReplyDelete
    Replies
    1. හම්ෙම්හ් දැං ෙම් පැත්ෙත ඒන්ෙන නැතුව ෙම්ෙක මකුළු දැලුත් බැඳිල...
      ඉස්තුතියි මචං ෙකාෙමන්ට් ඒකට!!

      Delete