2015-11-15

ලෝකයේ රුදු නෙත් වසා




එක් පෙම්වතෙක් සිය පෙම්වතියට මෙහෙම කියනව...



වලා තීරයෙන් එහා කොහේ ද ලෝකයක්

සොයා ඇදෙයි පැතුම් බිඟුන් අපේ ම ලෝකයක්

අපේ ම ලෝකයක්...“



ඇයි මේ දෙන්නට මේ ලෝකෙ ඉඩ මදි වෙලා ද? වෙන පතන්ට පැතුමක් නැතුව ද උන්ගෙ ම ලෝකයක් ප්‍රාර්ථනා කරන්නෙ? මොකද්ද මේ ලෝකෙ තියෙන වැරැද්ද?  ලැම්බට හිතෙනව...



නමුත් ලෝකය කියන වදනෙ අරුත එක එක වෙලාවට එක එක විදිහ යි. එක වෙලාවක දී ඉන් අදහස් වෙන්නෙ අපි ජීවත් වන පෘථිවිය කියන ග්‍රහලෝකය. බෞද්ධ පදනමකින් බැලුව ම මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය, ප්‍රේත ලෝකය වගේ විවිධ ලෝක තියෙනව. ඔය අතරෙ ලෝකය කියන වදනසමාජය‘ කියන අරුත ත් දෙනව.  

මූ නිසා අපට ලෝකෙට මූණ දෙන්ට බැරි වෙනව...“ කියල අම්ම ලැම්බ ට නිතර ම කියන්නෙ ඒ 'සමාජය' කියන අදහසින් නෙව.



මනුස්සය කියන්නෙ සමාජමය සත්ත්වයෙක්. එකිනෙකා සමග සහ සම්බන්ධතා ඇති ව ජීවත් වන එක ම වර්ගයෙ සත්තුන් ගෙ එකතුවට රංචුව, රැළ කියනව වගේ මිනිස්සු රැළට කියනව සමාජය කියල. මනුස්සය කියන සතා හැමදේම කරන්නෙ ඔය සමාජය ත් එක්ක එකතු වෙලා. වෙන එකක් තියා රහසෙ සිද්ද කරන සාමාන්‍ය ජීව ක්‍රියා හිටං මුළු සමාජෙට ම අඬබෙර ගහල කියන විකාර සතෙක් මිනිහ. මං කිව්වෙ ඔය ඇට්ටෝං ගෙවල්, හෝං කමිං ගැන...



ඔහොම සමාජෙ එක්ක ඇලිල ගැටිල ඉන්න එකේ හොඳ වගේ ම නරක ත් නැතුව නෙවෙයි. ඔය නරක වැඩියක් ම දකින කොට්ටාසයක් තමයි ඔය ලව් කොරන ජෝඩු.

එක  පෙම්වතියක් මෙහෙම කියනව...



කඳු නිම්නේ අපි දෙන්නා තනිවීලා

සුදු මීදුම් අප දෑසේ පැටලීලා

මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි

ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි...“



ඇයි මේ පෙම්වතුන් මේ තරම් ම මිනිසුන්ගෙන් දුරු වෙලා ඉන්න හදන්නෙ? මිනිස් ඇස ඔය තරම්ම ‘රුදු‘ ලෙස දැනෙන්නෙ ඇයි?  

මේ ඒ රුදුරු මිනිස් ඇසින් හොඳට ම බැට කාපු පෙම්වතෙක්, මේ කුරිරු ලෝකය ගැන කළකිරීමෙන් කියන දේ...



ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා

මා සොයා පැමිණෙන්න සොඳුරිය රෑ ස‍ඳේ කඳුලක් වෙලා



මා දෑස අවුරා ඔබ දෑස සඟවා සහසක් නුවන් දැල්විලා

මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ

යා වෙන්න පවනක් වෙලා...“



ලෝකය, එහෙමත් නැත්තම් මේ සමාජය කියන්නෙ පෙම්වතුන්ට නම් ඒ තරම් හොඳ තැනක් නෙවයි කියල මට ආපහු හිතුණෙ අපේ ගීත සාහිත්‍ය සාගරේ ගැඹුරෙ ගිලිල ඉන්න වෙලාවක. 

ඒ.එම්. රාජා සමග ජමුණා රාණී දෙපළ 60 දශකයෙ දි මෙහෙම තමන් ගෙ දුක කියනව...



බෝ කෲරයි අහෝ ලොව ධර්මේ

මිල කළේ ඇයිදෝ ඔබ ප්‍රේමේ

මා පියඹ සුදෝ ඔබ තනිකර දා

මට යන්ට වුණේ

මා දුගී නිසයි මේ සමාජේ

මේ සමාජේ                                    



දුකට පත් වන පෙම්වතිය ත් තමන් ගෙ බිඳුණු හීන ගැන කියනව,



ඔබෙ බිළිඳා මා තුරුළෙ හොවාලා

නළවන්ටයි මා උන්නෙ බල බලා ...//

ඒ පැතුම මෙමා හද පතුලෙ නැගී

අද නිසරු වුණේ

කෲර වූ නිසයි මේ සමාජේ

මේ සමාජේ...“



ඒ තමයි සමාජය විසින් පවත්වාගෙන යන දුප්පත් පොහොසත් බෙදුම නිසා තරුණ යුවළක ගෙ අහිංසක හීන බිඳුණු හැටි. 

ප්‍රේමයට ගෝචර නො වන සමාජමය බෙදීම් නිසා ප්‍රේමය අසරණ වෙනව නම්, ඔවුන් ට සමාජය කුරිරු ලෙස දැනෙන එක සාමාන්‍යයි. මොකද ආදරය කරනකොට ඔවුන් ලෝකය දෙස බලන්නෙ වෙනස් ම දෘෂ්ටි කෝණයකින්. ඒ දෘෂ්ටි කෝණයෙන් දකින්නට අපොහොසත් වන සමාජය ආදරය අන්ධයි කියා වරදවා වටහා ගන්නව. 



ඊට පස්සෙ 70 දශකයෙ මුල දි මොහිදීන් බෙග් සමග රුක්මණී දේවි ඒ වගේ ම දුක්බර කතාවක් කියනව මෙන්න මෙහෙම...



පරම රමණී අපේ ආලේ

සදාකල් සැපත වී මූලේ

සමාජේ රුදුරු කාන්තාරේ

කොහේ අපි යමුද නොම තේරේ



කිමද වෙන්නේ අනේ නොදැනේ

මෙයින් මතුදා



විදුලි හෙණ සැඩ සුළං නොමැති

මල් ගසක් මුදුනේ

තනාගමු ප්‍රේම කූඩු අපි...“



තමන් ගෙ පෙම් මල් ගස පැළ කර දලු ලා වැඩෙන්නට හොඳ තැනක් නොවෙයි මේ සමාජය. එය අනුකම්පාවේ දිය බිඳක් වත් නැති කාන්තාරයක්. ඉතින් ඔවුන් ගෙ ප්‍රේමය දලු ලා පල දරන්නට හැකි තැනක් සොයා යා යුතු යි. සුනිල් එදිරිසිංහයන් ගේ හඬින් පෙම්වතෙකු සිය පෙම්වතියට ඒ සඳහා ඇරැයුම් කරන්නෙ මෙහෙම යි.



අහස පොළොව වටපිටාව හරි ම හිස් තැනක්

ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්

ඇදී එන්න ඒ මොහොතේ 
හඬා වැටෙන හද මඬලට

ඔබ යි මම යි ඉන්නා තැන කොහෙද තනිකමක්

නැහැ නෙ තනිකමක්...“



ඒ ඇරැයුම, සමාජ අපවාද, අපහාස නමැ‘ති //විදුලි හෙණ සැඩ සුළං නොමැති තැනක, මල් ගසක්// සොයාගෙන යන්නට යි. 

ඒත් සුනිලුන් ම කියන විදිහට, //නිම් තෙරක් නො දුටු මේ ලෝකයේ, රුදු සපුන් නිබඳ සරනා බිමේ // එ වන් මල් ගස් තියෙන්නට විදිහක් නෑ. 

ඉදින් උන් කොහේ යන්න ද...? බණ්ඩාර අතාවුදයන්ගෙ ත්, මාලිනී බුලත්සිංහලයන්ගෙ ත් සංවාදය ඒ ගැන යි..


“කොහේ යන්න ද

කොහේ ඉන්න ද

ඔබ ත් ඇසුවා මගෙන්

මම ත් ඇසුවා ඔබෙන්...“



ඔවුන් අතරමං වෙලා.. ඒත් වෙන් වී යන්නට බැරි තරම් ආදරයෙන් බැඳිල..



“මං මුලා වී ජීවිතේ අපි

ළං වෙලා ඉමු මේ ලෙසින්..“

 
ඉතින් හැම පෙම්වතෙකුට ම තියෙන ප්‍රශ්නෙ වික්ටර් රත්නායකයන් අහනව...



කෙසේ ද අත් බැඳ ඇවිදින්නේ

වෙරළේ උයනේ තුරුලු වෙමින්

නෑසිය මිතුරන් මඟ තොට හමු වන්නේ

උකුසු ඇසින් අප කෙලෙස ද ගැලවෙන්නේ...“                 



මේ උකුසු ඇසින් ගැවෙන්නට බැරි වීමේ ප්‍රශ්නෙ දි පෙම්වතියක් ප්‍රේමය අතහැර  පසුබහින අයුර නන්දා මාලිනියන් මේ විදිහට ව්‍යංගාර්ථයෙන් යුතු ව මෙහෙම කියනව...



ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා

සුළඟ ට සියුම් දාහක් කන් ඇති හින්දා

කවදාවත් ම ඔබ මට හිමි නැති හින්දා

මුනිවත හොඳ යි දෙබසින් දුක වැඩි හින්දා...“


හැබැයි පෙම්වතෙකු ට එහෙම කරන්ට අමාරු යි. එකක් ඒ පුරුෂ ස්වභාවය, අනික ඔහු එහෙම නො කරයි කියල පෙම්වතිය බලාපොරොත්තු වීම. 


ආපහු වික්ටර් රත්නායකයන් ම කොහේ යන්න ද?‘ කියන ප්‍රශ්නයට උත්තරයකු ත් කියනව.



අපි ඈතට ඈතට පා නගලා

ඝන වනන්තරේ

අතරමං වෙමු

වසන්ත මල් ගොමුවේ...“



එ තැන තියෙන වාසි ඔහු පෙම්වතියට විස්තර කරනව...



කාත් කවුරුවත් නෑ එන්නේ

ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්

අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ

බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ...“



ඉතින් ඈ කොහොම ද එ වන් තැනකට අකැමැති වෙන්නෙ? ඈ මෙහෙම පිළිතුරු දෙනව...



මල් මුතුලැල් නිල් දිය වැල් සකුණ විජිතයේ

මා සඟවා තබයි ඔබේ රාජධානියේ...“



හිරුට හොරෙන්, සඳු ට හොරෙන් තරු මල් උයනේ, ලොවට හොරා විළි ලා බිහි කරගත් ඔවුන් ගේ ඒ ප්‍රේමය හිතට තුරුළු කරගෙන ඔවුන් මෙහෙම සපථ කරනව..



“මේ ලෙසින් සසරේ පුරා අපි

ළං වෙලා සිටි ඒ භවේ

හෙට ත් අද වාගේ බලා හිඳිමු

සිත් සතන් නැති ලෝකයා

පෙම් සුවේ දකිනා තුරා...“



ආයෙත් ලෝකයා හරස් වෙලා.. සිත් සතන් නැති ලෝකයා පෙම් සුවේ දකිනා තුරා ඔවුන්ට කොතරම් කල් බලා ඉන්නට වේවි ද..?




8 comments:

  1. අාදරය කරන්නන්ට තියෙන ලොකුම ප්‍රශ්ණය තමා තමන් දන්නා කියන කෙනෙක් තමන්ව දකීද කියන ඒක.. ඒ නිසා අාදරය සමග බද්ධ වුණ හැම සිදුවීමක් තුළ ම යම් රහස් ක්‍රියාමාර්ගයන් බොහොමයක් තියෙනවා.... ඔවුන් සමාජයට වෙෙර කරන්නේ ඒකයි.... ඔවුන්ගේ ප්‍රේමයට ඒන බාධාවන් සියල්ල ඒන්නෙත් ඒතැනින් තමයි.... මේක හරි වැදගත් මාතෘකාවක් ඒ අතින් බලද්දි....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ලංකාවෙ කෙල්ලෙකු යි කොල්ලෙකු යි අත් අල්ලගෙන ගියත් ඒක දිහා මිනිස්සු වැරදි විදිහට බලන අවස්ථා තියෙනව..සුද්දො ගෙනාපු වික්ටෝරියානු සභ්‍යත්වය සිංහල බෞද්ධ සංස්කෘතිය විදිහට රෙදි අන්දවල මිනිස්සුන් ට දීල නෙ තියෙන්නෙ. පාරෙ අනාචාරෙ හැසිරෙනව නම් ඒක වැරදියි තමයි, නමුත් සීමා වලට ත් සීමා තියෙන්ට ඕන. තමනු ත් ඒ වයසෙදි ඒව කරල, වයසත් එක්ක ඒව නොකර ඉන්නකොට තමං බෝධිසත්ත්වයො කියල හිතන එක සම්පූර්ණයෙන් ම කුහකකම..අපි ත් ඒ වගේ වෙයි ද කියල දෙයියො තමයි දන්නෙ... :)

      බොහොම් ස්තුතියි කුරුටු මේ පැත්තෙ ආව එකට ත් කොමෙන්ටුවට ත්..

      Delete
  2. ඕක කුඩලිගම ලියුවා මෙහෙම,

    ඔබ මෙන් මමත් ලොව වනසන රණකාමි
    මිනිසුන් සිටින තෙක් මානයකට නේමි..

    ReplyDelete
    Replies
    1. මම ඒක කියවල නෑ :)
      ඔබට බොහොම ස්තුති යි ඒක මෙ තැන බෙදා ගත්තට..
      පිළීතුර පමා වීම ගැන සමාව අයදිනව...

      Delete
  3. Replies
    1. බොහොම ස්තුති යි :)

      Delete
  4. කොතැනක සිටියත් ඔබ මෙළොවේ සතුටින් ජීවත් වෙන්නකෝ.....

    ReplyDelete