2015-10-25

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි...



මළ ඉරේ එළියෙන් නැහැවුණ ත් වෙරළ තීරය තවම ත් සජීවී යි. පැය ගාණක් තිස්සෙ ලුණු වතුරෙ පෙඟිල ඇති වුණු මම මිනිසුන් ගෙ කලබලෙන් මිදිල ඈතට ඇවිදගෙන යනව. වෙරළ දිගේ දුවගෙන එන සුදු පෙණ පිඬු මගේ දෙ පය කිති කවමින් මා එක්ක හිනා වෙනව. ආපහු හැරිල බැලුවම යි මම දකින්නෙ, මගේ පිය සටහන් මා පස්සෙන් ම ඇවිත් බව. අන්තිම පිය සටහන මා දිහා ම බලා ඉන්නව, මා තව ත් අඩියක් තියන තුරු වෙන්ට ඇති. මම හිටිපියෙන් ම නැවතිල ඇස් පියාගෙන ඇහුම්කන් දෙනව...


ටික දුරක් ගිහින් බැලුව ම, මිනිසුන් ගෙ හඬ මුහුදු හුළඟ නිසා තුනීවෙලා ඇහෙන්නෙ නැතුව ගිහින්. මා වටේට ම නිහැඬියාවක ගිලිල. ඒ නිහැඬියාව, මුහුදු රැළි වෙරළෙ වදින හඬ ත්, ඈත මුහුද කැළැතෙන හඬ ත්, මුහුදු හුළඟ කන් පෙත්තෙ වැදිල නගන හඬ ත් එක් වුණු ඝෝෂාකාරී නිහැඬියාවක්. ඒ ‘නිහඬ බව‘ ට මම කැමැති යි. ඉතින් තව ත් දුර යන්නෙ ඇයි? මම මගෙන් ම අහනව. උත්තරයක් දෙන්ට වුවමනාවක් මට නෑ. මම වැලි තලය උඩ වාඩි වෙනව...

මුහුද කියන්නෙ පුදුමාකාර තැනක්. ඒ දිහා බලාගෙන මිනිහෙකුට ජීවිත කාලයක් ම කල්පනා කරන්ට දේ තියේවි. මුහුදු රැළි දෙකක් කවදාවත් එක වගේ වෙන්නෙ නෑ. ඒ නිසා ඒ දිහා බලන් ඉන්න එක සීමාවක් නැතුව කරන්ට පුළුවන් ඇති කියල මට හිතෙනව. රැළි වල හැම චලනයක් ම, හැම හැඩයක් ම අලුත් නිර්මාණයක්. හරියට උදේට ඉර පායනව වගේ. කවදාවත් එක වගේ උදෑසන දෙකක් දකින්ට බැහැ. පනාපුත්‍ර ගෙ මතක වස්තුව පොතේ කියල තියෙන, රළ දෙකක් අතර ඇති නිහැඬියාව මට මතක් වෙනව. මම ඇස් දෙක පියාගෙන ඉර දිහා බලන ගමන් ඒ නිහැඬියාව ට සවන් දෙනව. ඒත් කළින් අහල නැති දෙයක් ඇහුණ ත් ඒක කොහොම අඳුනගන්ටද? මගෙ හිත වෙන අතකට යොමු වෙනව...

ජීවිතෙ ත් හරියට වෙරළ වගේ. මම ජීවිත වෙරළෙ තනියම වාඩි වෙලා ඉන්නව. කාලයේ මුහුදු රැළි එකින් එක ඇවිත් වෙරළ දියවෙලා යන බව පේන්නෙ ඒ දිහා බලන් ඉන්න කෙනෙකු ට විතර යි. වියරු රළ ගෙඩි ඇවිත් මා ජීවිත වෙරළෙන් ඇදල, උදුරල දාන්ට හදනව. කෙහොම හරි වෙරළෙ රැඳිල හිටියොත්, ඒ රළ ආපහු යනකොට මා වැල්ලට තවත් යට කරල පිටවෙලා යනව. ඒ බව නො දැන හිටියොත් කොයි මොහොතෙ හරි මා නැගිටින්ට ත් බැරි තරමට වෙරළෙ එරිල යාවි ද…?
සමහර මහ රළ මුළු වෙරළ ම එක වර ගෙනයන්ට වගේ ගර්ජනා කරගෙන ඇවිත් මග දි මෙල්ල වෙලා යනව. සමහර පුංචි රළ රැළි බොහොම හෙමින් ඇවිත් නොහිතු විදිහට මා පැත්තකට පෙරළල මගෙ ඇස් කරදියේ පොඟවල, කඳුළින් පුරවල යනව. එහෙම වුණ ත්, ටික වෙලාවක් බලන් හිටිය ම ඇත්ත ම දරුණු රැළි මොනව ද, හුරතල් රැළි මොනව ද කියල තේරුම් ගන්ට පුළුවන් වෙනව. ඒත් ඒ රැළි දන්නෙ නෑ, මම ඒව අඳුනගත්ත බව. ඒව දිගින් දිගට ම මාව රවටන්ට හදනව. මම රැවටුණු බව පෙන්වල නිකම් ඉන්නව...

නො ගැඹුරු මුහුද හරි ම කලබලකාරී යි. පෙනුම බිහිසුණු යි. ඒත් ඒ දියට බැස්ස ම ඒ කලබලය මැද්දෙන් මා ආපහු වෙරළ දිහාවට තල්ලු කරන බව මම දන්නව. මතුපිටින් තියෙන වියරු බව දිය යට නැති බව එහි ගිලුණ ම මට දැනෙනව. ඒත් ඈතින් ලස්සනට පේන, හිත නිවන පෙනුමක් තියෙන  නිසල මුහුද එහෙම නෑ. එ තැන නිසල බව ට යටිත් තියෙන කැළැඹුම බිහිසුණු යි. ඉතින් බොරු නිසල බවක් පෙන්වන ගැඹුරු මුහුද ට වඩා, තමන් ගෙ කැළැඹීම් පෙන්වල ඉවර වෙලා, ලස්සන පෙණ හිනා අහුරකින් ආපහු ජීවිත වෙරළ ලස්සන කරන නො ගැඹුරු මුහුද ට මම කැමති යි...

මිය යන ඉරෙන් බාගයක් ම සිතිජ රේඛාවෙන් පහළ ට ගිහින්. මට සින්දුවක් මතක් වෙනව...

සයුර මා විය - අහස ඔබ විය
දෙ නෙත රැවටූ සිතිජ ඉම විය
කී කතාවේ අරුත වැටහිණ
අහස සමුදුර එකතු වී යැයි...

අහස යි මුහුද යි එක් වෙලා නෑ කියල සිතිජය දකින කෙනකු කොහොම කියන්ට ද...? ඒ තරම් ම සැබෑ විදිහට ඒ එක් වීම පේන හැටි. මම පුදුමෙන් හිතනව. කවද හරි අහස කිව්වොත් මිසක්, මුහුද ත් හිතාවි අහස ඔහු ත් එක්ක බැඳිල ඉන්නව කියල. ඒත්, සිතිජය කියන මායාවී බැඳීම නිසා වත්, අහස ඒ බව නො කියා, මුහුද නො රිදවා ඉඳීවි ද…? එහෙම නැත්තම් අහස හිතක් පපුවක් නැති ව ඒ බව මුහුද ට කියාවි ද…?

මුහුද යි අහස යි නිහඬ ව මා දිහා ම බලා ඉන්නව... වැලි අතරෙ සිදුරක හැංගිලා හිටිය පුංචි කකුළු පැටියෙක් මගේ අත උඩින් දුවගෙන ගිහින් තවත් සිදුරක හැංගෙනව.. ඒ ප්‍රශ්න වලට ඒ තරම් බයවෙන්ට ඕන නෑ කියල මං හිතින් ඌට කියනව.. ඒත් කකුළුවට දන්නව මම කියන්නෙ බොරු බව.. කකුළුවගෙ බය සාධාරණයි කියල මට ඊළඟට හිතෙනව...



හෙමින් හෙමින් සිතිජයෙන් පහළට අවසන් ගමන් යන ඉර දිහා වලාකුළු දුකෙන් වගේ බලා ඉන්නව.. හිතේ නැගුණු පිළිතුරක් නැති ප්‍රශ්න ගැන සුළං රැළි කණට කොඳුරල කියන දේ අහමින් සයුරු වෙරළ‘ත හුදෙකලාව ඉන්න මා දිහා ත් වලාකුළු දුකෙන් බලා ඉන්නව ඇති කියල මට හිතෙනව...

10 comments:

  1. වෙන මොනා කියන්නද අයියා...................... සුපිරියි. :)

    ReplyDelete
  2. ඇතියන්තම ලියන්න හිතුනා. වෙල්කම් බැක් මචෝ..

    ReplyDelete
    Replies
    1. ආයෙ නම් වෙලාව තියෙන හැටියට ලියනව මචෝ :)
      තෑන්ක්ස් කිව්වා :)

      Delete
  3. සුපිරියි මචෝ..

    ReplyDelete
  4. මේ බ්ලොග් සයිට් එකේ මොකක් හරි අවුලක් තියෙනවා . fb ලින්ක් දානකොට වර්ඩ් වෙරිෆිකේෂන් එනවා . දාපු ලින්ක් එකකට යනකොට

    Notice
    The link you are visiting: http://chamikaya.blogspot.com/
    Facebook thinks this site might be unsafe. If you are not familiar with it, please provide feedback by marking it as spam (you will be brought back to Facebook).
    SpamNot SpamClose this bar and continue to the destination site.

    ඔන්න ඕක එනවා . දන්නේ නෑ මොකද්ද අවුල කියලා . දන්න කෙනෙකුගෙන් අසා දැනගන්න . ඉස්සෙල්ලා හොයලා බලන්න අනිත් අයටත් එහෙමද කියලා . එහෙම නැත්නම් මට වාර්තා කරන්න මගේ අවුල මොකක්ද කියලා බලන්න :p :p :p

    ReplyDelete
    Replies
    1. ඒක බුකියෙ අවුලක් මචං...ගොඩක් අයට වෙනවලු...ඒත් රිපෝට් කළත් රෙස්පොන්ස් නැහැලු...බිස්නස් සයිට් තියෙන අය නම් බුකියෙ හෙඩ් ඔෆිස් එකට ලියුං දාල හදාගෙන තියෙනව..ඒ තරම් නටන්ට වෙලාවක් කොහෙද අපට.. :(

      මම මුලින් හිතුවෙ සයිට් එකට මැල්වෙයා ඉන්ජෙක්ෂන් එකක් වෙලා කියල..ඒත් ඒහෙම එකකුත් නෑ...කොහෙවත් බ්ලැක්ලිසිට් වෙලත් නෑ...බුකියෙ කේස් එක තමය්...මම ත් බුකියෙ ඉන්න කාලෙ වොරිෆිකේෂන් ආව..උඹේ අවුලක් නෙවෙයි...

      බොහොම ස්තුතියි මචං උදව්වට!!!

      Delete
  5. //ඝෝෂාකාරී නිහැඬියාවක්. ඒ ‘නිහඬ බව‘ ට මම කැමැති යි//
    සිරාවටම මමත් කැමතිම එකක් මුහුදේ ඒ ගතිය... මුහුදට ගිය ගොඩක් වෙලාවට ක්ලික් වෙන එකක් ඒක මට. ඒක මුහුදට විතරක් ආවේනික එකක් නෙහ් ? නැත්නම් පාරක් අයිනෙත් ඝෝෂාකාරී බව තියෙයි ඒත් අර කියන නිහඬ ගතිය එතන එන්නේ නෑනේ.
    ඒක එන්නේ පරිසරයත් එක්ක වෙන්න ඕනි.
    වික්ටර්ගේ සිංදුව...උඹ සින්දුව අහලා මේක ලිව්වද නැත්නම් ඇත්තටම සිංදුව මේක ලියද්දි මතක් වුනාද ?

    //ඒත් ඒ රැළි දන්නෙ නෑ, මම ඒව අඳුනගත්ත බව. ඒව දිගින් දිගට ම මාව රවටන්ට හදනව. මම රැවටුණු බව පෙන්වල නිකම් ඉන්නව//
    //ඉතින් බොරු නිසල බවක් පෙන්වන ගැඹුරු මුහුද ට වඩා, තමන් ගෙ කැළැඹීම් පෙන්වල ඉවර වෙලා, ලස්සන පෙණ හිනා අහුරකින් ආපහු ජීවිත වෙරළ ලස්සන කරන නො ගැඹුරු මුහුද ට මම කැමති යි...//
    මේවා මම කැමතිම කොටස් ටික

    උඹේ පොස්ට් කවදත් සුපිරි පස්ටම ඒවා ! වැස්ස වගේ හොඳට මතක තියෙන එකක් මටනම් මේ පොස්ට් එක.
    උඹේ සුපිරිම ගණයේ පොස්ට් වලින් එකක් මටනම් මේක.
    නියමයි මචන් !

    ReplyDelete
    Replies
    1. මුහුද ගැන කියනකොට මට මතක් වෙන පළමුවැනි සින්දුව තමයි වික්ටර් මහත්තයගෙ ඔය සින්දුව..පට්ට ම සංවේදි සින්දුවක්.. මේ දවස් වල මූඩ් එක නිසා තවත් වැඩි ඒක...අනිත් සින්දුව තමයි අමරදේව මාස්ටර් ගෙ සිනිදු සුදුමුදු තලාවේ...

      වැස්ස තවමත් මතකයි නේද? ;)
      බොහොම ස්තුතියි මචං මේ පැත්තෙ ආවට... ජයවේවා!!!

      Delete