2016-05-15

අම්මා කෙනෙකු මිස, නුඹ මගෙ බිරිඳ ලෙස...


පිය සෙනෙහසට පෝස්ට් එකේ සහ මා හා, යා නො හැකිය ගොඩබිමකට පෝස්ට් එකේ නයනේ එක්ක කරපු කතා නිසා තමයි මේ පෝස්ට් එක ලියන්ට මග පෑදුණේ. ඉතින් ඔබට තුති.



අපි මෙහෙම පටන්ගමු. ලෝකෙ ගෝලාකාර යි, මිනිස්සු විවිධාකාර යි කියල අපි කතාවට කියනව. මේ විවිධාකාර මිනිස්සු, එක සමාන අද්දැකීම් වලට මුහුණ දෙන්නෙ ත් විවිධාකාර විදිහට. ඒක යි, මිනිසුන් එක ම අද්දැකීම වුණ ත් වින්දනය කරන විදිහ එකිනෙකාට සාපේක්ෂ වෙන්නෙ.  ඒ සාපේක්ෂතාව හරහා, අප, අපි කිසි දා නො සිතූ, නො පැතූ, අපූර්ව වින්දනාත්මක අන්තයන් වෙත ගෙන යන්නට, ගීතය, එහෙම ත් නැත්තම්, ගේය පද රචකය සමත් වෙනව. එක ම ජීවනාද්දැකීම දෙස විවිධාකර වූ කෝණයන්ගෙන් බලන්නට ත්, ඒ ඔස්සේ අපේ ජීවනාවබෝධය මුහුකුරා ලන්නට ත් සුභාවිත ගීතය හොඳ මගපෙන්වීමක් වන්නෙ ඒ හේතුව නිසා යි. සරලව ම, ආනන්දයෙන් ප්‍රඥාවට යනව කියන්නෙ අන්න ඒකට යි.


තරුණයකු පිය පදවිය ලබනව කියන්නෙ නැවැත නො හැරෙන විදිහට ජීවිතේ සිදු වන විසල් වෙනස් වීමක්. මෙ තෙක් නො දැනුණු වගකීම් රැසක් හිස මත පැටවෙන මහා බර මොහොතක්. දරු සිඟිත්ත ගෙ මුව කමල දකින සිඹින විට, පිය සෙනෙහසින් පපුව පිරිල හිරිවැටිල යනකොට, ඒ සතුට ත් එක්ක අර වෙනස තනුක වෙලා යනව තම යි, නමුත් අතරින් පතර ක්ෂුද්‍ර නිමේෂයන් තුළ ඒ බරපතල හැඟීම් ද ඔහු තුළ දැල් වී නිවී යාම සාමාන්‍යය යි.

තරුණය ට පිය පදවිය අලුත් අද්දැකීමක් වුණා ට, තරුණිය නම් ඊට බෝ කලකට පෙර මව් පදවිය ලබනව. දරුවා සිය කුස පිළිසිඳගන්නට ත් පෙර යි ඈට දරුවකු ලැබෙන්නෙ. (මේ මොනවද මූ කියවන්නෙ??! ) ඔව්, අලුත උපන් දරුවාට ත් වඩා සනසන්නට, රැක බලාගන්නට අපහසු ඒ දරුව තමයි, ඈ පෙමින් බැඳුණු, දෙවැනු ව අතැ'ඟිලි බැඳුණු, දැන් මේ නවමුව පිය පදවි ලත් ඒ තරුණය. ඔහු යි ඇගේ පළමු දරුව.

සාමාන්‍යයෙන්, පවුලට දෙ වැනි දරුවකු ඉපදුණා ම, නංගි කෙනෙකු, මල්ලි කෙනෙකු ලැබුණ සතුට ත් එකක ම පළමු දරුව තුළ ඇති වන තවත් හැඟීමක් තම යි තමා පෙර මෙන් නො සලකා හැර ඇති බවක් දැනීම. එහෙම ඇත්තට ම නො වෙනව ත් නො වෙයි තරමක් දුරට, බොහෝ විට කුඩා දරුවා නිසා ඇති වන කාර්යබහුල බවත් එක්ක. නමුත් කුඩා දරුවකු නිසා ම පළමු දරුවා තුළ දුකක් ඇති වීම සාධාරණ යි.

ප්‍රේමයෙ දි, තරුණයො ත් දරුවන් මෙන් බොළඳ නො වෙනව කිව්වොත් ඒක අලි බොරුවක්. අවධානය ගන්ට කරන දේ වුණත් දරුවකුට වඩා වෙනසක් නෑ. බොරුවට රණ්ඩු වෙනව, කෑගහනව, දුක පෙන්නනව. ඉතින් බිරිඳට දරුවකු ලැබුණම ත්, හිතේ කොණක හරි නොසලකා හැරුණාය කියා සිතුවිල්ලක් නැති වුණොත් තමයි පුදුම. ඉතින් මේ පොදු අද්දැකීම ත්, එකිනෙකා වින්දනය කරන අයුර විවිධ යි. එකිනෙකා ඊට ප්‍රතිචාර දක්වන අයුරු විවිධ යි.

සමහරු මෙහෙම නෝක්කාඩු කියනව,






රූං පෙත්ත කැරකෙනවා
කෝම්පිට්ටු ඉදිවෙනවා
අම්මි නුඹට සුරංගනා කතා කියනවා

පුංචි පුතේ නුඹ ආ පසු අම්මි හුඟක් වෙනස් වෙලා
එදා වගේ නෑ 
මාත් එක්ක බොළඳ වදන් දැන් කියන්නෙ නෑ

සුදු කොට රැළි ගවුම ඇඳන් පාසැල් ගිය කාලෙ වගේ
හිනාවෙන්නෙ නෑ
නුරා රැඳුණු කෝල බැලුම් දැන් හෙළන්නෙ නෑ
 
ගී හඬ/ තනු: දයාරත්න රණතුංග
ගේය පද: උදය චාමරසිංහ


අරුත ටිකක් විවාදාත්මක වුුණ ත්, මේ සන්දර්භයෙන් ම සලකන්නට හැකි තවත් ගීයක් තම යි පණ්ඩිත් අමරදේවයන් ගෙ මේ ගීතය.






පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නළවනවා
මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

නුරාව වෙනුවට ඉඳුනිල් දෙ නුවන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම
අවිහිංසක ඇය කෝළ බැලුම් හෙළුවා

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකී යනවා

එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පූදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා

ගී හඬ/ තනු: පණ්ඩිත් අමරෙද්ව
ගේය පද: සුනිල් සරත් පෙරේරා


මින් පළමු ගීය බය නැති ව සරල ගී කාණ්ඩයේ ප්‍රවර්ග කළ හැකි යි. නමුත් දෙ වැන්න නම්, මා මුලින් කී ලෙස ම, විවාදාත්මක අරුතැ‘තියක්. එක් අතෙකින් එය යට ගිය පෙමක් නැවැත මතු වූ විටෙක නැගෙන විරහ ගීයක් විය හැකි වුව ත්, දරු සුරතල් බලන සිය ප්‍රියාවිය දකින සැමියකු ගේ හැඟීම් වන්නට ත් එ පමණ ම ඉඩක් තිබෙනවා. මම පුද්ගලික ව ඒ අරුත් දෙකෙන් ම එය රස විඳින්නට කැමැති යි. නමුත් මෙහි මම එය විමසන්නේ පීතෘමය සන්දර්භය මුල් කොටගෙන යි.

පුදුමයකට මෙන් මා දකින දෙයක් තම යි මේ ගී දෙකේ ම එකිනෙට සැසැඳ‍ෙන ස්වභාවය. ගී දෙකෙහි ම පුනගැයුම් සසඳමු,

රණතුංගයන් //අම්මි නුඹට සුරංගනා කතා කියනවා// යැයි කියද්දී, අමරදේවයන් කියනවා //මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා// ය කියා. //අම්මි නුඹට// යන සංකලනය “නුඹට මිස මට නො වෙයි“ යන යටි අරුත දෙනව. අතීතයේ නෑඹුල් පෙම් යුවලක් ව පෙම් රස විඳන කල, ඔහු අැගේ ත්, ඈ ඔහුගේ ත්, කන් පෙති මත දෙ තොල් තබා රහසේ කියූ ඒ සුරතල් කතා, ඒ පෙම් ගී, අද ඈ තම දරුවා විෂයයෙහි කියනව, ගයනව. මෙහි පැහැදු අදහස නම්, එදා ඔහු කෙරේ ඈ තුළ වූ ආදර හැඟීම්, මෙදා ඔවුන් ගේ දරුවා දෙස හැරී ඇති බව යි. පිය පදවි ලද තරුණයා තුළ තවම ත් ජීවත් වන, ඒ බොළඳ පෙම්වතා තුළ සියුම් ඉරිසියාවක් ඇති වෙනව. (‘ඈතින්‘ යන්න ඈ+ අතින් යන අරුතින් යෙදුණක් විය හැකි බව ට නයනේ අලුත් අදහසක් ඉදිරිපත් කළ බව ත් කිව යුතු යි.)

//පුංචි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා
එදා වගේ නෑ 
මාත් එක්ක බොළඳ වදන් දැන් කියන්නෙ නෑ//

මේ පැහැදිලි නෝක්කාඩුවක්. නොසලකා හරින ලදැ යි දැනෙන හැඟීම මෙන් ම, දරුවා ලද පසු ඈ ක්ෂණික ව ලබන පරිණතිය හමුවේ, තමා තුළ තවම ත් පවතින අපරිණත බොළඳ සිතිවිලි දැක, ඉන් ඔහු තුළ හටගන්නා ලැජ්ජාකාරී සිතුවිල්ල ත් මේ නෝක්කාඩුවට හේතු වන්නට ඇති.

ඇය දැන් //සුදු කොට රැළි ගවුම ඇඳන් පාසැල් ගිය කාලෙ වගේ හිනාවෙන්නෙ නෑ//.ඇගේ හසරැල්ල දැන් //අවිහිංසක, කෝල බැල්මක්// බවට පත් වෙලා. ඈ මවක් වෙලා. ඒ නිසා ම ඇය //නුරා රැඳුණු කෝල බැලුම් දැන් හෙළන්නෙ නෑ//. //නුරාව වෙනුවට// ඇගෙ //ඉඳුනිල් දෙ නුවන දයාව වෑහෙනවා//. නමුත් තවමත් නො මළ බොළඳ පෙම්වතා ට පැරණි ඈ නැති ව පාලු යි. ඔහු ජීවිතයෙ අනිත්‍ය බව මෙනෙහි කරනව,

//හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස රූ සිරි
කෙමෙන් මැකී යනවා//

නමුත් වෙනස් වී ඇත්තේ ඔවුන් දෙදෙනා පමණ යි. //එදා වගේ තවමන් වැට අද්දර නාමල් පූදිනවා//. එදා ඔවුන් සක්මන් කළ කොළොංතොට තවම ත් තරුණ යි. ඔවුන් අඳුරු කෙළවරක හිඳ පෙම් බස් මිමිණූ අවන්හල, තවම ත් අලුත්.  ජීවිත ස්වභාවය තේරුම් ගන්නට උත්සාහ කරන ඔහු ත් පරිණතියට පත් වෙනව. පළමු ගීයෙ නැති, දෙ වැනි ගීයෙ ඇති වැඩිපුර කොටස තමයි ඒ. එක ම අද්දැකීමට, දෙදෙනෙකු දක්වන වෙනස් ප්‍රතිචාර.

කලක් ගත වන විට, ඒ බොළඳ හැඟීම් අමතක ව මැකී ගිහින්, ඔහු පූර්ණකාලීන පියෙකු බවට පත් වෙනව. දිවිය ත් සමග මුහුකුරා ගොස් ඔහු ගෙ හැඟීම් විපර්යාසයකට බඳුන් වෙනව.






තාත්තා වුණත් මා බත සරි කරන

අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින

මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේ වත් හද නො නැගි පෙමින්
උතුරයි ම සිත තව නුඹ වෙත තුරුළු වෙමින්

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නො හැඟේ ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ

ගී හඬ/ තනු: පණ්ඩිත් අමරදේව
ගේය පද: මහගම සේකර

  
මේ පබැඳුම, මගෙ හිතේ ඇඳුණු ආකෘතික සේකර සළකුණ රැගත් ගීයක් ලෙස යි මා දකින්නෙ. සේකරයන් ගේ සළකුණ නම් කැටයම් රහිත ව, නිර්ව්‍යාජ අදහස්, සරල බසින්, නමුත් හිතට වදින ලෙස ඉදිරිපත් කිරීමේ ගුණය යි. මේ ගුණය වත්මන් කවියන් අතර මා දකින්නේ බොහෝ කොට ම රත්න ශ්‍රී විජේසිංහයන් තුළින්.

මෙහි පළමු පද යුගලය, පියෙකු ගේ චිත්තාභ්‍යන්තරය පෙන්වන කැඩපතක් වැනි යි. අම්මා සඳකි ගීතයේ අර්ථමය අසාර්ථකත්වය ට හේතුව, මේ ගීයෙ එම පද දෙක ඇසුරින් වටහා ගත හැකි යි. මෙහි පියා මව සමග තරගයක් නෑ. “මම මොනවා කළත්, නුඹ යි අම්මා...“

//නුඹ චන්ද්‍ර මඬල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ...// රත්න ශ්‍රී විජේසිංහයන් ඒක ම, වෙනත් වදන් වලින් කියනව.

//මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්// කියා ඔහු පවසන්නේ, //පුංචි පුතේ නුඹ ආ පසු අම්මි හුඟක් වෙනස් වෙලා// යැයි නෝක්කාඩු කියූ පෙම්වතා ව සිටි කල මෙන් හැඟීමකින් නො වෙයි. ඒ ඇගේ අසමාන කැපකිරීම් වලට කරන සනාබර ඇගැයීමක් ලෙසින්. ඔහු ඈ වෙත යොවුනෙහි බැඳි ළාමක ආලය දළු ලියලා, ලාමක බව හැර සුහුඹුල් ව, තවම ත් නො මැරී මතු නොව, වැඩී විසල් ව ඇති බව ඉතිරි පද දෙකෙන් ප්‍රකට කෙරෙනව.

//ඔබ දුටු මුල් දිනේ වත් හද නො නැගි පෙමින්
උතුරයි ම සිත තව නුඹ වෙත තුරුළු වෙමින්//

කෙතරම් උත්තරීතර පෙමක් ද ඒ...

මවක් වන ඈ ඔහු ත් එක්ක නුරා රැඳුණු කෝළ බැලුම් නො හෙළනවා ඇතිබොළඳ වදන් නො කියනවා ඇති, නමුත් ඈ තුළත් ඔහු තුළ මෙන් ම විසල් සුහුඹුල් ආලයක් පවතින බව //ළඟින් හිඳ ඔහු හිස සිඹින සඳ// කෙ තරම් අපූරු ලෙස අපට පෙනෙනව ද. ඈ සිඹින්නේ ඔහු ගේ හිස මිස දෙ තොල් නො වෙයි. ඈ එසේ සනායෙන් හිස සිඹිනුයේ ඈ කුස නො දැරූ, ඇගේ පළමු දරුවාගේ යි...

එක් කලක් ඔහු ඈට මෙසේ කියන්නට ඇති

//ඔබේ නිල් වන් නුවන් දුටු සඳ - රාග ගින්නෙන් දැවෙයි මා හද//

එදා ඔහු රාග ගින්නෙන් දැවූ ඇගේ සුවඳ, අද ඔහු වෙත ගෙන එන්නේ බැති බර හැඟුම්. කෙතරම් අපූරු, අව්‍යාජ, නිර්භය කියමනක් ද! 

//අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස  
නො හැඟේ ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ// 

රාගයෙන් තොර ප්‍රේමයක් ඇති බවට ඊට ද වඩා නිසි නිදසුන් කොහි ද?

ඔහු, ඈ වෙත පුදන ආදර තෙපුල් කෙසේ නම් වේවි ද...?








දුකේ දී හැඬුමට, සැපේ දී සිනාසෙන්නට ළඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා
සොඳුරියෙ නුඹයි ඒ අම්මා
 
අහස මෙන් ලත් චෝදනා
පොළොව මෙන් දුක් උහුළනා
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා
සොඳුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජ වීලා

 
සිතට සැනසුම් කල්පනා
ගෙනෙන පාදා වාසනා
තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ
සොඳුරියේ නුඹෙ රුව අඹාගමි ම හද මන්දීරේ


ගී හඬ: ටී. එම්. ජයරත්න
ගී තනු: සරත් දසනායක
ගේය පද: ශිලා ගම්වර

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. සුපිරිම සුපිරියි මචං...... මෙන්න මේවා තමා විචාර කියන්නේ........

    මේ ගීත කිහිපය ම මීට පෙර අරන් මමත් ගලපලා බලලා තියෙනවා. ඒත් මං දැක්ක විදිහට මේවායේ සමාන කම් වගේ ම වෙනස්කමුත් තියෙනවා.....

    පුංචිපුතේ උඹ ආ පසු අම්මි හුගක් වෙනස් වෙලා......

    මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්.....

    මේ දෙක ගත්තා ම දෙවිදිහක දැක්මවල්. පළවෙනි එකේ දී හැබෑ හැගීම කියනවා. දෙවැනි එකේ දී පරිණත විදිහට ඒක දිහා බලනවා......... දෙආකාරයක ප්‍රකාශනයන්......

    ReplyDelete
  3. ලැම්බා,
    ඔබේ මේ ගැලපීමේ හැකියාවනම් හරිම සුන්දර අත්දැකීමක් මට ගෙන එනවා.
    ඔබ මෙහි සැසඳීමට මූලිකවම ගෙන ඇති රූං පෙත්ත ගීතයට මා කිසි දිනෙක මෙතරම් වූ වටිනාකමක් දී නැහැ. ඇත්තෙන්ම එය අපූරු ගීතයක්. එහි කියැවෙන නෝක්කාඩුව හරිම සුන්දර කියැවීමක්.
    ඒ වගේම රූංපෙත්ත ගීතය හා පෙර දිනෙයක ගීතය අතර වූ මේ අපූරු සමානතාවය මගින් පෙර දිනෙයක ගීතයේ බොහෝ දෙනා නොදකින සිය බිරියට පෙම් කරන පියෙකුගේ කතාව අපූරුවට සනාත වෙනවා.
    ඇත්තෙන්ම ගීත රචකයාගේ අදහස කුමක් වන්නට ඇතිද?

    තරුණයෙකුගේ හා තරුණියකගේ බොළඳ ප්‍රේමය ඉක්මවා ගිය පියෙකු සතුව තම බිරිඳ කෙරෙහි ඇති ප්‍රේමය ගැන කියැවෙන මේ අපූරු සැසඳීම් අතර ඔබ කිසිවෙකුට නොදැනෙන ලෙස ඇවිද ගිය කොළොම් තොටක් මතක් කරනවා

    කොළොම් තොට නැත මහළු වී
    අවන් හල නැත පැරණි වී
    එදා හඳමයි අදත් යෞවනයේ....

    ඒත් අප දෙදෙනා
    බලන් කැඩපත සොඳුරියේ...

    මේ ප්‍රෙමය තුළින්ම මතුවන ජීවිතයේ සැබෑව ගැන වූ දැකමක් නේද?

    අනිත්‍යය.....

    ඔබේ ලිපිය තවත් කිහිප වරක් කියවා රස විඳින්නම්.

    ReplyDelete