2012-05-20

අඹ



අඹ කියන වචනෙට තේරුම් ගොඩක් තියෙනව. අහස, ජලය, භාර්යාව...මේ හැම එකක්ම ඒකෙන් අරුත් ගැන්වෙනව. ඒත් බහුතරයකට අඹ කිවුවම මතක් වෙන්නෙ අර අපි කන පලතුරු වර්ගය.

අපේ රටේ අඹ වලට ලොකු ඉතිහාසයක් තියෙනව. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩල ඉස්සෙල්ලම රජතුමාගෙන් අහල තියෙන්නෙත් අඹ ප්‍රශ්නයක්නෙ. සුබ ලකුණු ගැන කියනකොටත් “නල මුදු සුවඳ, පිරි කුඹු, මියුරු අඹ ගෙඩි” කියල කියනව. ඒත් මට කවදාවත් නැතුව මෙහෙම එකක් ලියන්න හිතුනෙ ඒ එකක්වත් නිසා නෙවෙයි, කලින් අහල තිබුණ පණ්ඩිත කතාවක් ආපහු අහන්න ලැබුණට පස්සෙ.

ඔන්න එක මිනිහෙක් අඹයක් කනව. ඒක දකින තවත් එකෙකුට අඹ කන්න ආස හිතෙනව. ඌ දන්නෙ නෑ ඒ කකා හිටපු අඹේ කොහොම එකක් ද කියල. සමහරවිට ‘අමු’ අඹයක් වෙන්න ඇති. සමහරවිට ඉදුණ රස අඹයකුත් වෙන්න ඇති. ඌට ඒවායින් වැඩක් නෑ. දැන් ඌට ඕන මොකක්හරි අඹයක් විතරයි.

ඔහොම යනකොට ඌ දකිනව අඹ ගහක්. ඒකෙ තියෙනව අඹ ගෙඩියක්. මේක දැක්ක ගමන් ඌට මෙලෝ සිහියක් නැතිව යනව. පැනපු ගමන් අර අඹේ කඩා ගන්නව. ඒත් ඒක කන්න පටන්ගත්තට පස්සෙ තමයි දැනෙන්නෙ ඒක තමන්ට කන්න බැරි ‘අමු’ අඹයක් කියල. ඉතින් මූ මොකද කරන්නෙ, අර අඹේට රටේ නැති කැත කතා කියල විසිකරල දානව. (ඒත්, අමු වුණත් කඩාගත්ත අඹේනෙ කියල කන අයත් නැතිව නෙවෙයි).
මෙතැනදි කරුණු දෙකක් ඉස්මතු වෙනව.

එක. ඌ ඒ අඹේ කැඩුවෙ ඉදුණු අඹ මොනවගේ ද කියල නො දැන නෙවෙයි. (ඒක සුවඳින්, පාටින් වගේ ම අල්ලල බලල ත් දැනගන්න පුලුවන් බව ආදි වානරයෙක් වුණ ත් දන්නව). ඌට ඒක හොයල බලන්න වුවමනාවක් තිබුණෙ නෑ.
දෙක. ඒ විසිකරපු අඹේ එසේ මෙසේ අඹයක් නෙවෙයි. කවදහරි ඉදිල, හැමෝටම ආස හි‍තෙන්න සුවඳ දීල පාට වැටෙන්න තිබුණ, තවත් ලොකු අඹ ගහක් ඇතිකරන්න බිහිවුණ අඹයක්.

ඉතින් ඒ අඹේ විහින් ම අර පුද්ගලය ගෙ අතට පැන්නෙ ත් නැත්නම්, අපි අනුකම්පා කරන්න ඕනෙ අර නිකන් තබුණ අඹේ හොයල බලන්නෙ නැති ව කඩල විසිකරපු එකාට ද?, නැත්තම් අර අඹේට ද?

ඒක නෙවෙයි පණ්ඩිත කතාව.

ඔයාලත් අහල ඇති “ විවාහ වීම අමු අඹයක් කෑම වැනිය... ” කියන කතාව. එහෙම කියන්නෙ කන එකාගෙ දත් හිරිවැටෙනකොට කනව බලන් ඉන්න එකාගෙ කටට කෙල උනන නිසාලු. මෙතැනදි කවුරුත් අර අඹේ ගැන කතා කරන්නෙ නෑ, ඒක කන එකාට අනුකම්පා කරනව මිසක්. ඉතින් මම හිතුව අඹේ ගැන කියන්න.

4 comments:

  1. සිංහල සර් ;) දැන් ඔයා අමු අඹ කන්න ආසා නැද්ද?

    ReplyDelete
    Replies
    1. කෙවදා හරි හොඳ ඉදුණු අඹයක් වැටෙන තුරු බකංනිලාෙගන ඉමි ;)

      Delete
  2. "විවාහය අමු අඹයක් වැනි" කියලා නෙව කියලා තියෙන්නේ.. එතකොට අමු අඹයට සමාන කොරන්ට වෙන්නේ විවාහය මහෙ හිතේ..

    හින්දුවකුත් මතක් උනා.
    "එක යායේ කකා වැටී- එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
    නාස් ලණුව දමනවාලු- කරත්තයක බඳිනවාලු
    අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා"

    ReplyDelete
    Replies
    1. නෑ නෑ, විවාහ වීම අමු අඹයක් කෑම වැනි ය ;)

      හූම් හූම්, නටල නටල නාස් ලණුව වැටුණම තමයි රඟ‍ේ දැනෙන්නෙ :ඩී

      Delete