2013-08-02

තවත් එක් පෙම් වතක්




“දැනුම් දෙන්නේ කවුරුන් වශයෙන් ද යන වග...ඒ කිව්වෙ ලොකු උන්නැහේ මේ කාන්තාවට තියෙන සම්බන්දෙ මොනවගේ ද කියන එක...“


ඇත්තට ම ඇයත් එක්ක තමන්ට තියෙන සම්බන්දෙ මොනවගේ ද..? හිත ඇතුළෙං නැගුණු ප්‍රශ්නෙ ත් එක්ක ජිනසේන ගෙ හිත අතීතයට ගියා..
ඒ එක්දාස් නවසිය පණස් ගණන් වලට. ජනපද ව්‍යාපාරෙං ඉඩං ලැබිල ජිනසේනල ගෙ පවුල අනුරාධපුරේට එනකොට ජිනසේනට අවුරුදු දාසයක් විතර. ආණ්ඩුවෙං ඉඩං නැති ඈයින්ට ඉඩං බෙදල දෙනව කියල ජිනසේනල ගෙ අප්පොච්චිට කිව්වෙ ගමේ ආරච්චි මහත්තය. ඒ කාලෙ ඕසෙට පැතිරිල තිබුණ මැලේරියා වසංගතේට බයේ සමහරු පස්ස ගැහුවත් අප්පොච්චි ඒකට කැමැති වුණෙ පොඩි උංට මොකක් හරි අනාගතයක් හදල දෙන්ට හිතල වෙන්ට ඇති. ඒත් කෑගල්ල පැත්තෙ දේශගුණේට හාත්පසිං වෙනස් වුණ ඒ ගිනි කාස්ටකේට ඇද වැටුණ එක ගැන ජිනසේනගෙ හිතේ ඇතිවුණෙ නොරුස්නා හැඟීමක්.

ජනපද ව්‍යාපාරෙං අනිත් හැමෝට ම වගේ ජිනසේනලට ත් ගොඩිං අක්කර පහකුයි, මඩිං අක්කර පහකුයි, අලුත් ගෙයක් එක්ක තවත් අක්කර බාගෙකුයි ලැබුණ. ආණ්ඩුවෙං ම අස්සද්දල දුන්න ඉඩං වල වැඩකටයුතු කරගන්ට මී හරක් බානකුත් හැම පවුලට ම ලැබුණ. තවමත් ගෙදර තියෙන ඩී ඇස් මහත්තයගෙ පිංතූරෙ, ගෙට ගෙවදිනකොට අප්පොච්චි ගෙනාපු එකක්. එදා ඉඳල ම පුරුද්දක් විදිහට අප්පොච්චි බුදුන් වඳිනකොට ඒ පින්තූරෙට ත් හ ුන්කූරක් පත්තු කරල නොසෑහෙන්ට පිං දුන්නෙ කළගුණ සලකන්ට වෙන විදිහක් නැති නිසා.

මාස හයක් යනකං ගෙදරට උවමනා කරන කළමනා කාරණ ආණ්ඩුවෙං නොමිලෙ දුන්න. සතියකට සැරයක් සමුපකාරෙට ගිහිං හාල් තුනපහ ජාති ඇරං එන එක බාර වෙලා තිබුණෙ ජිනසේනට. පුංචප්පු මාමගෙ මද්දුම දෝණි ව ජිනසේන ඉස්සෙල්ල ම දැක්කෙ එහෙම ගිය වෙලාවක සමුපකාරෙ පෝළිමේ ඉන්නකොට. ජිනසේනල ගෙ ගෙදරට ගෙවල් කීපයක් එහායිං පදිංචි වුණ පුංචප්පු මාමල ඇවිත් තිබුණෙ කුරුණෑගල පැත්තෙ ඉඳල. ජිනසේන හාංකවිසියක් නැතුව ඈ දිහා බලා ඉන්නකොට ඇය ත් අහම්බෙන් වගේ ජිනසේන දිහා බැලුව. දෙන්න ගෙ ඇස් ගැටුණු ගමං ඈ බිම බලාගත්ත. ඒ වෙලාවෙ හිතට ආපු කෝල හැඟීම ජිනසේනට තවමත් මතකයි.

ඔහු ඇය ව දෙ වැනි සැරේට දැක්කෙ ඊට පස්සෙං දා යායෙ අත්තමකට ගිය වෙලාවෙ. වැඩ කරන ගමං ඈ දිහා බැලුව ජිනසේනට ඔච්චං හිනාවක් පෑව ඈ අහක බලාගත්ත. තමං ඉන්නෙ අමුඩෙ පිටිං නේද කියල මතක් වුණ ජිනසේනට දැණුනෙ ලැජ්ජාවක්. ඒත් ඈ ළඟක ඉන්නව නං දවසම වුණත් එක දිගට මහ පොළොවත් එක්ක ඔට්ටු වෙන්ට පුළුවං කියල ජිනසේනට හිතුණ.


“ටිකිරි මැණිකො, තේ ගෙනාපු පෝච්චිය ගනිං ගෙදර ගෙනියන්ට“


ඇගෙ අම්ම ඈට අඬගැහුව. ජිනසේන ඇගෙ නම දැනගත්තෙ එහෙම යි.


“ටිකිරි මැණික.. ටිකිරි.. ලස්සන නමක්...“


එතැන් ඉඳල ජිනසේනට ටිකිරි මැණික ව නිතරෝම මුණ ගැහුණ. යායෙ කයියකට ගියත්, පන්සලට ගියත්, ගමේ වෙනිං වැඩකට ගියත් ඒ බොහොම තැන් වල ඈ උන්න. ඉඳල හිටල හරි ඈ නො හිටියොත් ඔහුගෙ ඇස් ඉබේට ම වගේ ඇයව හෙව්ව. එහෙම මුණගැහුණ තැන් වලදි හාං හූම් කියල පටං ගත්ත කතා වලිං දෙන්න ටිකිං ටික ළං වුණේ දෙන්නට ම නො දැනි. කවදාවත් ආලවන්තකමක් ගැන වචනයක් වත් කතා කරල නො තිබ්බට දෙන්න අතර ඇති වෙලා තිබුණ අමුතු ම ලෙංගතුකම හඟවගෙන ඉන්ට දෙන්නට ම උවමනා වුණේ නෑ.

ඒ අතරෙ කොයිතරං දේවල් සිද්ද වුණා ද. අලුතෙං අස්සද්දපු කුඹුරු වල මුල් ම අස්වැන්න ගෙට ගත්ත, ජිනසේන ගෙ නඟා අනුරාධපුරේ කන්තෝරුවක ලියන මහත්තයෙක් එක්ක දීග ගියා, ආණ්ඩුවෙ වැඩ දෙපාර්තමේන්තුවෙ ගබඩා පාලකයෙක් විදිහට ජිනසේනට පත්වීමක් ලැබුණෙ ඊට ටික කාලෙකට පස්සෙ.

ජිනසේනට ආණ්ඩුවෙ රස්සාවක් ලැබුණ එක ගැන අහල පහල අයත් කතා කළා. ඒ අතරෙ වැඩියෙම්ම සන්තෝස වුණෙ ටිකිරි මැණික කියල ජිනසේන දැනං හිටිය. ඔහු තවත් පමා නො කර හිතේ තිබුණ අදහස අප්පොච්චිලට කිව්වෙත් ඒ නිසා.

ගෙවල් වලිනුත් කිසිම සෝලියක් නො තිබ්බ නිසා දෙන්න ගෙ කසාදෙ තීන්දු වුණා. පත්වීම බාර ගන්ට යන්ට සතියක් තියෙද්දි ජිනසේන ටිකිරි මැණිකව ගෙදරට කැන්දං ආව.

එදා ඉඳල අවුරුදු විසි පහක් ම ජිනසේන කළේ ඒ රස්සාව. ඔවුන් ගෙ පවුල් ජීවිතෙත් සතුටිං ගෙවුණ කිසි ම අඬදබරයක් නැතුව. ඒ අවුරුදු විසි පහේ දි ටිකිරි මැණික ජිනසේනට දාව දරුවො හත් දෙනෙක් වැදුව.. ජිනසේන ගෙ අප්පොච්චි මියෑදුණ.. ටිකිරි මැණිකගෙ අම්මණ්ඩි මියෑදුණ.. ජිනසේන ගෙ වැඩිමාලු දූල දෙන්න ම දීග ගියා.. ලොකු පුතා හමුදාවට බැඳුණ.. තව දාහක් දේවල් සිද්ද වුණා.

ජිනසේන රස්සාවෙං විශ්‍රාම ගත්තෙ අඩු කාලෙං. එ තැන ඉඳල ජිනසේන කළේ අප්පොච්චිගෙං තමුංට උරුම වෙච්ච ඉඩං කඩං වල ගොවිතැං කරන එක. වයස අවුරුදු හැත්තෑවක් වුණත් මේ වෙනකනු ත් ජිනසේන පුතාල ත් එක්ක හරි හරියට හේනෙ කුඹුරෙ වැඩ කළා. ටිකිරි මැණික ත් ඒවට එකතු වුණ ත් අවුරුදු හය හතක ඉඳල තිබුණ දණිස්සෙ අමාරුව නිසා වත්තෙ පිටියෙ වැඩ කරන එක අඩු කරන්ට කියල දොස්තර මහත්තය කිව්ව. ඒත් ඇයව දවසකට හරි වැඩ නො කර තියාගන්ට පුළුවං වුණෙ ජිනසේන ගෙ‍ තරවටුවකිං විතර යි.

කියන දේ නාහ වැඩ කරපු නිසා ද කොහෙද ටිකිරි මැණික ට ගිය සතියෙ ආයෙත් පාරක් ඉස්පිරිතාලෙ නවතින්ට සිද්ද වුණා. දරුවොංගෙ කීමත් නාහ මේ වෙනකොට දවස් හයක් ම ජිනසේන මැදවච්චිය ඉස්පිරිතාලෙ බංකුවකට වෙලා ගත කළේ ඈව තනි කරල යන්ට හිත නො දුන්න නිසා.


“අප්පච්චි...“


ජිනසේන ආපහු වර්තමානයට ආවෙ ලොකු පුතා ගෙ හඬින් තිගැස්සිල. 


“මං එයාගෙ කසාද මනුස්සය මහත්තයො...“ ජිනසේන උත්තර දුන්න.


රෙජිස්ටාර් මහත්තය තව මොනවද විස්තර වගයක් ලියල පෝරං කොලේ ජිනසේන අතට දුන්න. ඒකෙ තිබුණ හැම දේම අතරිං ජිනසේනට එක පේළියක් පැහැදිළි ව පෙණුන..


‘මරණයට හේතුව - **** ඖෂධය නිසා ඇති වූ ආසාත්මික ප්‍රතික්‍රියාවක්...‘


ඒ එක්ක ම ලොකු කොල්ල ගෙ තරහෙං පිරුණ කටහඬ ජිනසේනට ඇහුණ,


“මේ ගමං ම දොස්තරයට විරුද්දව පැමිණිල්ලක් දාන්ඩ යමු අප්පච්චි“


“ඕනැ නෑ ලොකු පුතේ“


“ ඒත් අප්පච්චි...“


මොකද්දෝ හේතුවක් නිසා ජිනසේනගෙ හිතට සැහැල්ලුවක් දැනෙන්ට ගත්ත...


“ඕනැ නෑ.. ඒ මහත්තය උඹලගෙ අම්මට කරුණාවෙං සැලකුව..අම්මණ්ඩි ගෙනාපු ආවුස ඉවර වුණා..එච්චරයි..“


ඉස්පිරිතාලෙ හිස් කොරිඩෝව දිගේ ඇවිදගෙන යන ජිනසේනට බය වුණු පරෙවියෙක් සට සට හඬින් තටු ගහල ඉගිල්ලුණා. ඌ නැගූ ශෝකී හඬ ඈතට දෝංකාර දෙමින් නෑසී ගියා.

© Chämika Ratnäyake

7 comments:

  1. Its really good . Keep on writing ... :)

    ( please Remove the word verification )

    ReplyDelete
  2. thanks silent Sahan...


    I removed it once ..I'll see again ...

    ReplyDelete
  3. ලස්සන කතාවක්. ගොඩක් හැඟුම්බරයි. “ දරුවොංගෙ කීමත් නාහ මේ වෙනකොට දවස් හයක් ම ජිනසේන මැදවච්චිය ඉස්පිරිතාලෙ බංකුවකට වෙලා ගත කළේ ඈව තනි කරල යන්ට හිත නො දුන්න නිසා.“ මොනතරම් ආදරයක්ද එතන තියෙන්නේ..

    ReplyDelete
  4. පස්ටයි උපරිමයි එල නියමයි සිරා ගති !

    ReplyDelete
  5. @Damith , සිංදුවා :බොහොම ස්තුතියි මචංලා ;)

    ReplyDelete
  6. මේක නම් සුපිරි කියල මදි... කථාව මැවෙනවා කියවද්දි.......... මෙහෙම ආදරයක් ලැබෙන්නත් වාසනවක් තියෙන්න ඕන. :)

    ReplyDelete
  7. මරුනෙ මචෝ...
    ලස්සන කතාව, ඇත්තටම උඹ වගේම කාටවත් කරදරයක් නැති මනුස්සයෙක් ජිනසේන.

    මම දැනගෙන හිටියෙ නෑ උඹ ‍මේ වගේ බ්ලොග් එකක් කරනවා කියලා. නියමයි.

    ReplyDelete