2016-04-06

මා හා, යා නො හැකිය ගොඩබිමකට...




ගෑනු ළමයෙක් ඉන්නව.. ඇගෙ ජීවිතේ කොතැන දි හරි වැරදිලා.. නැවත ත් හදන්නට බැරි ලෙස ම වැරදිලා, පැටලිලා.. අසරණ ඇයට නැවත ත් ඇගෙ පරණ ජීවිතය හොයාගන්නට බෑ.. ඒ මියැදී අවසන්.. ඉදිරි දිවියකු ත් ඇයට නො පෙනෙන විදිහට ඇය මංමුලා වෙලා.. මනුස්සයෙකුට, කාන්තාවකට, ඊට ත් වඩා, සියුමැලි තරුණියකට, පත් වන්නට හැකි තව ත් නරක තැනක් තියේවි ද...? එ වන් සමනළියක වැනි සියුමැලි යොවුනිය ක්, විඳින්නා වූ වේදනාව, අපේ අවබෝධයේ සහ පරිකල්පනයේ සීමාවෙන් සැතැපුම් ගණනක් ඔබින් පවතින්නක්..


මට වෙලාවකට හිතෙනව, වරක් කපුගේ මහත්තය පාර අහන්ට ඇත්තෙ ත් ඒ වගේ මංමුලා වුණු සමනළියකගෙන් වෙන්ට ඇතැ යි කියා..


මංමුලා වී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ
මංමුලා වූ සමනළියකගෙනි පාර අසා තිබුණේ...

සරල පද පේළි දෙකකින්, නො දන්නා සමනළියක ගැන වගේ ම, නො දන්නා තරුණයෙකු ගැන ත් කරුණා රසයක් ශ්‍රාවකයා තුළ ජනිත කරන්නට පද රචකයා සමත් වෙනව...

ජීවිතේ අරමුණක් නැති ව ඉබාගාතෙ යන මංමුලා වුණු තරුණය, ඒ මංමුලා වුණු සමනළිය ගැන අනුකම්පා සිතක් පහළ කරගන්නව.. ඇගෙ දුක තේරුම් ගන්නට ඔහු තැත් දරනව..

ඇය ත් නො දන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකයෙ අඩමානය
පාර කියන්නේ කෙලෙස ද? මා හට
ඇයට ත් පාරක් ඇති නැති ගානය...

කපුගේ ශූරීන් පළමු පද දෙක ඉහළ ස්වර පරාසයක, තමාට ම ආවේණික වුණු කම්පනය වන ස්වරයෙන් ගයන විට, ශ්‍රාවක සිත ත් එ පමණට ම කම්පනය වෙනව.. ක්ෂණික ව පහළ පරාසයකට පැමිණෙමින්, අනුකම්පා සහගත ස්වරයකින් //පාර කියන්නේ කෙ ලෙස ද? මා හට// යන තෙ වැනි පදය ගැයෙන විට ඈ ගැන ශ්‍රාවකයා තුළ ඇති වූ කරුණාව වඩ වඩා ත් තීව්‍ර වෙනව.. //ඇයට ත් පාරක් ඇති නැති ගානය// යන වදන් පෙළ ඇගෙ ජීවිත කතාව ම කැටි කොට දක්වන්නට සමත් වෙනව...

අනුකම්පාවෙන් බර වන තරුණයට, ඒ අහිංසක සමනළිය තනිමග දමා යන්නට හිත් දෙන්නෙ නෑ.. ආදරයකට පහසුවෙන් ම පෙරැළෙන්නට හැකි යම් හැඟුමක් වෙයි ද, ඒ නිසැකයෙන් ම අනුකම්පාව යි..ඒ නිසා ම, අනුකම්පාව මත පදනම් වෙලා තීරණ ගන්ට එපා කිව්වත්, පුහුදුන් මනුස්ස සොබාව ඒක ම නිසා, ඔහු තීරණයකට එළැඹෙනව...

අප හමු වූයේ මන්දැ යි නො දනිමි
පාර ඇසූයේ ඇයි දැයි නො කියමි
අපේ ගමන අද නවතනු හැකි නම්
අප යන ගමන ද අද මෙ තැනින් නිමි...

ඔවුන් ගෙ හමු වීම ගැන වැඩි දුර හාරා අවුස්සන්නට ඔහු හිතන්නෙ නෑ.. ඔහු ගෙ හෝ ඇය ගෙ අතීතය ත් දැන් සැලැකිය යුත්තක් ලෙස ඔහු ට පෙනෙන්නෙ නෑ.. ඉබාගාතෙ යන ජීවිත දෙකක්, නවාතැන්පොළක නවතින්නට යනව.. ඔහු ඒ සමනළියට තම ජීවිතයෙ නවතින්නට ඇරැයුම් කරන්නට සූදානම්.. ඈ කුමන පිළිතුරක් දේවි දැයි ඔහු තවම ත් දන්නෙ නෑ.. ඒ නිසයි ඔහු කියන්නෙ (දෛවය ට) අපේ ගමන අද නවතනු හැකි නම්, (හසරක් නො දැන) අප යන ගමන අද මෙ තැනින් නිමා වන බව...

(පද: මහැදුරු සුනිල් ආරියරත්න)

ඒ වෙලාවෙ ඒ තරුණය ට සමහර විට නන්දා මාලිනිය ගෙ මේ ගීතය ත් සිහි වෙන්නට ඇති...



සුළං කපොල්ලේ - තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටේ නිල් කඳු රැල්ලේ

පුංචි කුරුලු කූඩුවක් කියන්නෙ කොයි තරම් බිඳනෙසුලු දෙයක් ද.. එ වැනි කුරුලු කූඩුවක් කඳු රැල්ලක් මත, සුළං කපොල්ලක, කොයි තරම් කාලයක් නො බිඳී තියේවි ද? ඇය ගෙ ජීවිතය ත් සිය දහසක් කරදර බාධක සැඩ සුළං රැළි උහුළා ගත නො හැකි ව සීසීකඩ වුණු කුරුලු කූඩුවක් වැනි යි.. සියුමැලි තරුණියක ගෙ ජීවිතය ගැන ශ්‍රාවකය තුළ ඊට වඩා හොඳ චිත්ත රූප මවන්නට සමත් උපමාවක් තව ත් අැති ද..?

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
අද ඔබ ළඟ සිටී, රුවක් විලස නො සෙල්ලී
යොදුන් ගණන් ඔබ මැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද? නැවත ඉගිල්ලී...

//කූඩු කැඩී තැන තැන ගිය// මේ පුංචි කිරිල්ලිය, //මංමුලා වී පාර හොයාගෙන// යන අර සමනළිය ම නො වෙයි ද?

කළින් ගීයෙ වගේ ම මෙහිත් //කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී// යන පද පෙළ, ශ්‍රවකයා තුළ කරුණා රසය ජනිත කරවනව.. //තැන තැන// යන්නෙ න් ඇගේ අතරමංවීම උත්ප්‍රාසයට ලක් කෙරෙනව.. //පුංචි කිරිල්ලී// යන යෙදුම, ඇගේ අසරණ බව, විසල් ලෝකය තුළ ඇගේ තනි බව උද්දීපනය කර, ඒ කරුණා රසය තීව්‍ර කරනව.. හරියට ම //සමනළිය// යන යෙදුම, සියුමැලි, බි‍ඳනෙසුලු බව උද්දීපනය කරනවා වාගේ යි..

යුගයේ ගායිකාව ලෙස මම හඳුන්වන්නට කැමැති නන්දා මාලිනියන්, හැඟීම් උද්දීපනයට හඬ මනා ව හසුරවන්න ට මැනැවින් දන්නා ගායිකාවක්. ඉහත පද පෙළේ //තැන තැන// යන්න ඇය ගයන්නේ වෙන් වෙන් ව උසුරුවමින්. එ මගින් එහි අදහස තදින් ශ්‍රාවකය ට ‘වදිනව‘..
තෙ වැනි පදය වන // යොදුන් ගණන් ඔබ මැ සොයා ආ සියුමැල්ලී // යන්න ඈ ගයන්නෙ හ‍ඬ්‍ෙ ප්‍රබලතාව වැඩි කරමින්. ඈ ඔහු ම සොයා ආ බව, එහි සැලකිය යුතු බව ඉන් මනා ට ස්ඵුට කෙරෙන ගතියක් දැනෙනව..
//පිළිගනු ඈ කොහි යන්ට ද? නැවත ඉගිල්ලී// යන්න, දයාර්ද්‍ර ඉල්ලීමක්.. ඇගේ අසරණ බව දක්වන්නට නිසි, ඔහු ගෙ හිත තෙත් කරන්නට නිසි, කරුණාබර ස්වරයකින් මාලිනියන් ඒ පද පෙළ ගයනව...

ඇය ට මවක් පියෙක් නොමැ‘ත සිතිජ වළල්ලේ
කඳුළ පමණි අැයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුලු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ...

මෙහි පළමු පෙළෙ හි අරුත සාහිතමය යි.. ඇය මවුපියන් නැත්තියකැයි ඉන් අදහස් නො වෙයි.. ඊට ද වඩා දුක්ඛිත තත්ත්වය ක් ඉන් ගම්‍ය වෙයි, එ නම්, දෙනෝදාහක් අවට සිටිය ද, ඈ තනි වී වේදනා විඳින බව යි.. නමුත්, ගීතයේ සෙසු කොටස් හා සසඳන විට //කඳුළ පමණි අැයට උරුම දවස මුළුල්ලේ// යන කොටස පමණට වඩා සෘජු අරුත් දෙන ලෙසක් ද, ඉන් ගීතයේ සමස්ත නිර්මාණශීලීත්වය ට යම් හානියක් වන බවක් ද මට හැඟෙයි..

(පද: මහැදුරු සුනිල් ආරියරත්න)

ඉතින්, ඒ මංමුලා වූ සමනළිය, ඒ කූඩු කැඩී ගිය කිරිල්ලිය, අනුකම්පාවෙන්, සෙනෙහසින් යුතු ව පිළිගන්නා ඔහු ට, ඒ සමනළිය, එහෙමත් නැත්තම්, ඒ කිරිල්ලිය, කුමක් කියාවි ද..? ඈ තම ගැලැවුම පතා ඔහු සමග එක් වේවි ද..? නැති නම්, ඈ මෙහෙම කියා වි ද..?



රුවල් ඉරී ගිය නෞකාවේ, නියමුවාණෙනි
නො ගිලී දළ රළ පෙළ අතරේ
මා හා යා නො හැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ...

දැන් මා ප්‍රස්තුත කරගන්නට යන ගීතයෙ සංගීත සංයෝජනයෙන් පවා හැඟවෙන්නෙ ඛේදවාචකයක්. ඊට හොඳින් සවන් දෙන්න.. සංගීතය සඳහා යොදාගෙන තිබෙන්නෙ සීමිත සංගීත භාණ්ඩ ගණනක්.. පාලු සයුර මත පාවෙන, රුවල් ඉරී අබලන් වූ නෞකාව පිසගෙන, මන්ද්‍ර ස්වරයෙන් වැයෙන බට නලා හඬක් නගන, සීතල සුළඟ, ඔබේ සිරුර කිළිපොළනු ඔබට දැනේවි..සයිලොෆෝනයක හඬින් අපට ඇහෙන්නෙ රළ රැළිති නැව් බඳේ වදින හඬ ද..? එහෙමත් නැත්තම්, බිඳී යන්නට තතනන නැව් බඳ නගන අවසන් ශෝකාකූල අඳෝනාව ද..? දිරා ගිය කඹ පටවල් කම්පනය කරමින්, වයලීනයක හඬින් හමා යන සුළඟ ත් ඔබට අැහේවි...

ඒ, රුවල් ඉරී, ගිලී යන්නට තැත් දරන ජීවිත නෞකාවේ සිටින යොවුනිය ගෙ වෙහෙසකර හඬ ඊළඟට ඔබ ට ඇහේවි.. එය කොතරම් ශෝකාකූල ද.. ඇගෙ හඬ පසුබිම් හඬවල් ඉක්මවා නැඟ, ශ්‍රාවක සිත තුළ පාළු හැඟුමක් ජනිත කරවනව.. 

ඇය සිටින්නෙ බියෙන්.. තමන් ගැන නො වෙයි, තමා පිළිගත් ඒ තරුණයා ගෙ දිවිය ගැන බියෙන්.. තෙ වැනි පද පෙළෙ හි //මා හා// යන්න ඇය උසුරුවන සැටි බලන්න.. එහි බිය වගේ ම, තමන් සමග රැඳුනොත් තරුණයාට අත් වන ඉරණම ගැන පැහැදිලි ප්‍රශ්නාර්ථයක් ද ගැබ් වෙනව..

දෝතට එක් කළ වැසි බිඳු පොවමින්, පවසට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින්, උණුසුම
මා රැක ගත් ඔබ රැකගත යුතු වේ, අද දින
දියඹේ නවතිමි, යනු මැන පෙර මග, තනිවම...

ඇය ගෙ දිවිය තරමක් හෝ සනහන්නට ඔහු දැරූ තැත, චිත්තරූපයන් ඔස්සේ මනාව කාවද්දන්නට පද රචකය සමත් වෙනව.. රුවල් ඉරුණු නෞකාව යන රූපකය, තව දුරට ත් අරුතැ‘ති ව ගොඩනගමින්, කරුණා රසයක් ජනිත කරනවනව ඔහු..

ඇය ගේ ගායනාව සලකන්න. //දෝතට එක් කළ වැසි බිඳු පොවමින් - පවසට// ආදී ලෙස, සෑම පදයක ම අවසන් වදන ඈ උසුරුවන්නෙ වෙන්ව යි. මන්ද, දිවි ගමනින් ඈ දැඩි සේ බැට කා වෙහෙසට පත් වෙලා. වදන් පෙළ එක්වර ම කියා නිමකරන්නට තරම් සවියක් ඇයට නෑ.. නමුත් ඇය තවම ත් සිත දැඩි කරගෙන.. තමා නිසා තවෙ‘කෙකු ගේ දිවිය අගාධයක හෙළන්නට ඇයට අවැසි නෑ.. ඔහු කළ දේට, කළගුණ දක්වන්නට යි ඇය ගෙ අභිප්‍රායය..ඇය නවතින්නට තීරණය කරනව, ඔහු ගෙ ගැලැවීම උදෙසා...

සුන්බුන් නැව් බඳ දියබත් වී යයි, හෙමිහිට
අත්හළ මැන දැන් මෙතුවක් මට බැඳි, සෙනෙහස
දෑස පියාගෙන මා බිලි දී දිය, ගැඹරට
ගැලවී යනු මැන මේ විපතින් සිත, දැඩිකොට...

(පද: මහැදුරු සුනිල් ආරියරත්න)

ඔවුන් ගෙ ගමන අවසානයකට ඇවිත්.. එක්කෝ ඔවුන් දෙදෙනා ම දිවි සයුරෙ ගීලී වැනැසෙනව, නැති නම් ඇය පමණක්.. ඇය දෙ වැනි විකල්පය තෝරාගෙන අවසන්.. ඇය ඔහුට ආයාචනා කරනව, ආදරය දෙන්නට කියා නො වෙයි, ආදරය අතහරින්නට කියා.. ඇය සමග ඉන්නට නො වෙයි, ඈ දමා යන්නට කියා..

ඔහු ඇයට කො තරම් සෙනෙහෙවන්ත දැයි ඈ නොදන්නවා නො වෙයි.. ඔහු ට ඈ දමා යන්නට කෙ තරම් අපහසු ද යන්න ත්, ඈ නො දන්නවා නො වෙයි.. ඉතින් ඈ කියනව, සිත දැඩි කොට ගෙන, මා නො පෙනෙන ලෙස දෑස වසාගෙන, මා  හැර යන්නට යි කියා.. මන්ද ඇගෙ දිවියෙ ඉතිරි ව ඇත්තෙ විපතක් පමණ යි.. ඊට ඔහු ද බිලි වනු බලන්නට ඇගෙ සනහස් පිරි සිත ඉඩ දෙන්නෙ නෑ.. එය යි සැබෑ ආදරය.. සැබෑ ආලය යනු, නියම බෝසත්කම යි යන්න මට නැවැත ත් මතක් වෙනව...

27 comments:

  1. මේ සින්දු හැමදාම මගේ හද බැඳගත් සින්දු. විශේෂයෙන් අන්තිමට තියෙන 'රුවල් ඉරීගිය නෞකාවේ' සින්දුව. හ්ම්ම් හ්ම්ම් සටහනට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන් ම මේ ලියන්නට හේතු වුණෙ ත් එම ගීතයම යි. කිසි දාක රසය අඩු නො වන නිස යි මේ ගීත කාගෙත් හද බැඳෙන්නෙ. කියෙව්වට ත්, කොමෙන්ටුවට ත් බොහොම ස්තුතියි උපේක්ෂා!

      Delete
    2. උපේක්ෂා,
      මාව මේ බ්ලොගයට එක්ක ආවට බොහෝම පින්.
      මේක සුන්දර පුස්තකාලක්
      මාස ගානකට කියවන්න දේවල් මේකේ තියෙනවා

      Delete
    3. ඒකනේ... කැණීමක් කරනකොට හම්බෙන ඔක්කොම වගේ වටිනවා. නිලක් හම්බුනොත් ඉතිං ??

      කියන්න අමතක් උනා.. මම Easy Cash වලිනුත් ගනුදෙනු කරනවා. ;-)

      Delete
    4. ලැම්බෝ.. ( අප්පා රම්බෝ වගේනේ කියනකොට)

      මේකයි සිද්දිය. ඒ සිංදුවේ තියෙන මට 'ටච්' වෙච්ච කොටස් මට වචනයෙන් කියාගන්න බැරි හැඟීම්. මට ලියාගන්න බැරි ඒ දේවල් වෙන කෙනෙක් ලියල තියෙනවා දැක්කහම ඉවසන්නේ කොහොමද? ඒකත් හරියට අර 'සමනළ සන්ධ්වනියේ' වගිෂට වගේ, අනුන්ගේ සපත්තුවක් වෙනුවෙන් හොටුපෙරන එකියක් හින්ද ලියන්නත් බැරුව හිටියේ.

      කලින් ඒවා ඔක්කොම වගේ කියෙව්වා.
      http://chamikaya.blogspot.com/2014/09/blog-post_5.html

      මේක නම් සුපිරියි.
      ලියන්න පදවැලක්. අපිට විඳින්න යමක් ඔබෙන් ගන්න තමයි මගේ උත්සාහය. ( දැක්ක නේද උඩින් ඉන්න එක්කෙනෙක් ගෙනාව මම? බස් එක ලෝඩ් කරන්න නෙවෙයි, වතුර හොයන උන්ට වතුර හොයල දෙන්න තමයි මට ඕනේ. හෙහ් හෙහ්...)

      Delete
    5. උපේක්ෂා, සිතුවිලි,
      මුලින් ම සමාව අයදිනව දෙන්නගෙන් ම, පිළිතුරක් ලියන්ට පමා වීම ගැන. පහුගිය දවස් වල අසනීප වුණු නිසා බ්ලොග් එකට එන්ට අමාරු වුණා. උපේක්ෂා ට බොහොම තුති මඳ‍ෙව් විලට එනට පිපාසිත හංසයින් ට පාර කියා දීම ගැන. විලක් ලස්සන වෙන්නෙ හංසයින් සරනකොට යි. නැත්තම් විල පාළුවට යාවි.

      උපේක්ෂාට ත්, සිතුවිලිට ත් ස්තුතියි ඔබේ පැසැසුම් ගැන. ඉක්මනින් ම පදවැලක් ගොතන්නට යත් දරන්නම්. නිවාඩුව ඉවර නිසා කලක් යාවි ද මන්ද...

      ප.ලි. ලැම්බා රම්බෝ ට දෙවැනි නැත ;)

      Delete
  2. මේ ගීත එකිනෙක අදෘශ්‍යමාන හුයකින් වාගෙ සම්බන්ධ විත්තිය මේවා ඇහෙද්දි දැනෙන දෙයක්.. ඔබ ඒ හැඟුම අපූරුවට වචනයට නගා තියෙනව.. දිගටම ලියමු..!

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒ සබැඳියාව වෙග් ම, හිතල නො තේරුව ත්, ගීත තුන ම එක ම රචකය ගෙ වීම ත් දෛවෝපගත යි. රේන් ගර්ල්ට ත් බොහෝ තුති, ආවට ත්, අදහසට ත්..!

      Delete
  3. ලස්සනම ලස්සන සින්දු ටිකක් ගැන ලියපු අගේ ඇති රචනාවක්...... ජයවේවා

    ReplyDelete
    Replies
    1. Bohoma sthuthiy Kurutu. Oba hamadamath mata saviyak. Jaya!

      Delete
  4. අපුරුවට ගීත තුනම එකට ගැටගහල වචන වලින්. අර්ථවත් විදියට. කවදාවත් අමතක නොවෙන ගීත තුනක්, මේකෙන් අවසාන ගීතය මට ගොඩක්ම සිත් ගත්තේ මා නොවන මම වැඩසටහනට දෙරණේ ආපු නදීක ගුරුගේ මේ ගීය විචාරය කරලා ඔහුගේ හඬින් ගයපු අවස්තාව. ඔබේ ලිපිය අපුරුයි, ජය.

    ReplyDelete
    Replies
    1. මම ත් ඒ වැඩසටහන බැලුව. නදීක ඒ ගීතය තෝරගත්ත කිව්වම මම මුලින් ම බය වුණා “අපරාදෙ ඒ සින්දුව නම් ගත්තෙ“ කියල. නමුත් ඔහු ඒක ඉතා ම ලයාන්විත අයුරින් ගායනා කළා. ඒකෙන් මුල් ගීයෙ රසය ඔප් නැංවෙන බවක් දැනුණ.
      මේ පැත්තෙ ඒම ගැන ත්, ඔබේ පැසැසුමට ත් තුති සොමියා! ඔබට ජය!

      Delete
  5. ලැම්බා, මේක අපූරු ලිපියක්,
    ඇත්තටම අද මේ විදියට ගීත රස විඳින උන් ඉතාම අඩුයි.
    ඔබේ රස වින්දන හැකියාව අපිවත් පෝෂණය කරනවා.
    තව ලියන්න. මම මේ විදියට විචාරය කරමින් ගීත ගැන සැසඳීම් කරනවා ඒත් ඒ මගෙ තුලින් මටම විතරයි.
    ඔබගේ රචනා ඇත්තෙන්ම රසවත්.

    ReplyDelete
    Replies
    1. ගීත රසවිඳීම අඩු වන්නට පළමුවැනි හේතුව රසයෙන් අඩු ගීත කරළියට පැමිණිම ත් සමග පැරැණි හොඳ ගීත වැසී යාම බව යි මගේ හැඟීම. නමුත් දැන් දැන් රූපවාහිනිය හරහා නැවැත ත් ගීත රසවින්දන/ විචාර වැඩසටහන් කෙමෙන් කෙමෙන් විකාශය වන්නට පටන්ගෙන ඇති බවක් පේනව. ඒ ඔස්සේ නවමු විචාරක පරපුරක් බිහිවනු ඇතැ යි මගේ බලාපොරොත්තුව.
      ඔබට බොහෝ තුති සිතුවිලි!

      Delete
    2. ලැම්බා,
      ඔබ ගීත රසිකයෙක් නිසයි මෙහෙම අහන්නේ.
      අමරදේවයන්ගේ "පෙරදිනයක මා පෙම් කල යුවතිය" ගීතය ඔබ දකින්නේ කෙලෙසද?
      මෙය පිය සෙනෙහස ලිපිය තුල කථා කලා නම් වඩා අර්ථවත් විය හැකිව තිබුනා. එතැනත් ම්ගේ අදහසක් තියෙනවා (පොඩි වැරදි වැටහීමකුත් එක්ක ) ඒකත් ඔබ කියෙව්වොත් හොඳයි.

      Delete
  6. ඔබ ඒ ගීතය මතක් කළ නිසා මට දැන් හිතෙනව ඒ ගැන ත් පෝස්ට් එකක් ම ලිව්වොත් හොඳ යි කියල.. ඒ් ව්ද්හට මට ඉඩ අැතුව කතා කරන්ට පුළුවන් වෙයි, කොමෙන්ට් එකක් දානවට වඩා.. ඉඩ ලැබුණු ගමන් ම පළ කරන්නම්.. බොහොම ස්තුතියි සිතුවිලි ඔබේ සිතුවිලි වලට!!

    ReplyDelete
    Replies
    1. මේ ගීතයට ලස්සන අර්ථ නිරුපනයක් දීල තිබ්බ කොහේ හරි බ්ලොග් එකක. අර්ථ නිරුපනය ලියන්න. .මම හම්බුනොත් ඒ පෝසට් එක දාන්නම් ලින්ක් එක

      Delete
    2. උපේක්ෂ සබැඳිය දාල තියෙනව නෙ.. ආපහු ඒ ගැන ම ලියන එක තේරුමක් නෑ.. පොසිබල් තේරුම් දෙක ම සඳුමල් ලස්සනට විස්තර කරල තියෙනව.. වෙනස් යමක් ලියන්ට අදහසක් තියෙනව, වෙලාව ලැබෙන විදිහට පළ කරන්නම් :)

      Delete
  7. Replies
    1. උපේක්ශා,
      ඔබ ඇත්තෙන්ම ඉතා හොඳ බ්ලොග් අඩවි පරිශීලනය කරන්නියක්.
      ඔබ මේ ගීතය ගැන උපුටා දක්වා ඇති ලිපිය ලැම්බා කියා ඇති පරිදිම එහි ද්වනිත වන අරුත් දෙකම මැනැවින් විග්‍රහ කොට තිබෙනවා.
      ඒත් ඒ ගීතයේ මා දකින එකම එක වදනක් විසින් මේ දෙ අරුත වෙනස් කරන බව එම ලිපියේ රචකයා පෙන්වා දෙන්නේ නැහැ.
      ඒ වචනය තමයි "මගේම ගීයක් නැලවිළි ස්වරයෙන් ඈතින් මතු වෙනවා" කියන කොටසේ එන "ඈතින්" කියන වචනය.

      මේ වචනය ඈතින් = දුරින් කියා ගතහොත් මේ වෙනතක වසන මා හැරගිය පැරණි පෙම්වතියයි.
      ඈතින් = ඇය වෙතින් කියා ගත හොත් මේ මගේ නිවසෙහි මගේ දුක සැප බෙදා ගන්නා මගේ ආදර බිරියයි, කලකට ඉහත මගේ පෙම්වතියයි.
      මා පවා මේ ගීතය මෙහි දෙවැනි අරුතින් ශ්‍රවනය කලේ මා වැඩුනු දරුවන්ගේ පියෙකු වූ පසුයි. ඇත්තෙන්ම ඒ ගීතයේ වන සැබෑ හද සසල කරවන සුන්දරත්වය ඇත්තේ මේ දෙවැනි අරුතින් එය ශ්‍රවනය කරනා විටයි.

      මේ ගීතය ගැන මා මෙතැන කීවේ එම ලිපිය දෙවසරක් පැරණි ලිපියක් නිසයි.
      මා පෙර සිටි සිතුවිළි සී.

      Delete
    2. අපූරුයි නයනේ! ( මම තවම ත් පැරැණි නමට කැමැති යි.) ඔබේ අදහස මට අලුත් එකක්. මම පියෙකු නො වන නිසා ද මන්දා, මෙහි අරුත් දෙක ම මට ඉතා රසවත්. එක ම ගීතය වෙනස් රසකින් එක පිට දෙ වරක් ඇසිය හැකි වීම ම අපූර්වත්වයක්. අලුත් පෝස්ටුවක් ලිව්වා ඒ හැම දේම ගැන. බලන්න http://chamikaya.blogspot.com/2016/05/blog-post.html

      Delete
  8. දැන් පස්වෙනි මාසෙත් ආවා තාම පොස්ට් එකක් නෑ :D

    ReplyDelete
  9. දැං ගොඩක් වෙලාවට ඉරිදත් වැඩ නිසා දුක තමා සින්දුවො ෆයිනල් ඉවර වෙනකම්.. ඊට පස්සෙත් එච්චර තමා :(

    ReplyDelete
    Replies
    1. http://chamikaya.blogspot.com/2016/05/blog-post.html

      Delete
  10. අයාලේ ගිය ජීවෙතේ
    ඔබෙනි සුව ලැබුයේ
    (කපුගේ)

    ReplyDelete
    Replies
    1. එහෙම කියන කපුගේ මහත්තය ම අබිසරු ලියකගෙන් වෙන් වෙන්ට බැරි ව මෙහෙම කියනව

      දම් පාටින් සඳ මුහුණ පෙනනවා
      සමුෙගන යන මාෙහාතක් නෑඟේ

      ;)

      Delete